කවීෂා සහ හර්ෂිතා අර්ධ ශතක ලබා ගනී

93
NSL Women's T20 Tournament 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (15) පැවැති තරගවල දී Kandy Women නායිකා කවීෂා දිල්හාරි සහ Dambulla Women කණ්ඩායමේ හර්ෂිතා සමරවික්‍රම අර්ධ ශතක ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.

පැවැති තරගවල දී ඔවුන්ගේ මෙම ඉනිම් හේතුවෙන් ම Kandy Women සහ Dambulla Women කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට ද සමත් වූවා.

Kandy Women සහ Colombo Women

o ක්‍රීඩාංගණය – Colts, හැව්ලොක් ටවුන්.

o කාසියේ වාසිය – Colombo Women

කාසියේ වාසිය දිනා ගත් Colombo Women කණ්ඩායම පළමුවෙන් පන්දවට පහර දීමට පිටියට පිවිසෙමින් කඩුලු 5ක් දැවී ලකුණු 108ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Kandy Women කණ්ඩායම තවත් පන්දු 8ක් සහ කඩුලු 4ක් ඉතිරිව තිබිය දී ප්‍රතිවාදී ඉලක්කය පසු කළා.

Colombo Women ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ පියුමි වත්සලා. ඇය පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 27ක් ලබා ගත්තා. ඊට අමතර ව නායිකාව වූ හසිනි පෙරේරා පන්දු 22ක දී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 22ක් ද සහ ආරම්භක පිතිකාරිනී නෙත්මි පූර්ණා පන්දු 18ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 20ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී කවීශා දිල්හාරි ලකුණු 18කට කඩුලු 2ක් දවා ගත් අතර ඉනෝකා රණවීර සහ අචිනි කුලසූරිය කඩුල්ල බැගින් බෙදා ගත්තා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි Kandy Women කණ්ඩායම වෙනුවෙන් නායිකා කවීශා දිල්හාරි පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 68ක් ලබා ගනිමින් ජයග්‍රහණයේ ප්‍රධානියා වූවා. ඊට අමතර ව ඇය අමා කාංචනා සමඟ එක් ව 5 වැනි කඩුල්ලට ලකුණු 69ක සබඳතාවක් ද එක් කිරීමට ඇය සමත් වූවා. ඒ සඳහා ඔවුන්ට වැය තිබුණේ පන්දු 70ක් පමණයි.

අමා කාංචනා පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 24ක් ලබා සිටියා.

කඩුලු ලබා ගැනීමේ දී තාරිකා සෙව්වන්දි ලකුණු 27කට කඩුලු 3ක් දවා ගත් අතර විදුශිකා පෙරේරා කඩුලු 2ක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Colombo Women – කඩුලු 5ක් දැවී 108 (20.0) නෙත්මි පූර්ණා 20, හසිනි පෙරේරා 22, පියුමි වත්සලා නොදැවී 27, කවීෂා දිල්හාරි 2/18
  • Kandy Women – කඩුලු 6ක් දැවී 111 (18.4) කවීශා දිල්හාරි 68, අමා කාංචනා නොදැවී 24, තාරිකා සෙව්වන්දි 3/27, විදුශිකා පෙරේරා 2/26

Kandy Women කණ්ඩායමට කඩුලු 4ක ජයක්.

Galle Women සහ Dambulla Women

o ක්‍රීඩාංගණය – Colts, හැව්ලොක් ටවුන්.

o කාසියේ වාසිය – Dambulla Women

කාසියේ වාසිය දිනා ගත්  Dambulla Women කණ්ඩායමේ නායිකාවගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Galle Women කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 108ක් ලබා ගත් අතර එම ඉලක්කය පන්දු 10ක් සහ කඩුලු 6ක් ඉතිරි ව තිබිය දී ලබා ගැනීමට Dambulla Women කණ්ඩායම සමත් වූවා.

Galle Women කණ්ඩායම වෙනුවෙන් නිලක්ෂි ද සිල්වා පන්දු 36ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 38ක් ලබා ගත් අතර නිලක්ෂනා සඳමාලි පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුනු 28ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා එක් ව 4 වැනි කඩුල්ල සඳහා පන්දු 62ක දී ලකුණු 67ක සබඳතාවක් එක් කළ අතර අනෙක් කිසිඳු කඩුලු සබඳතාවක දී ඉලක්කම් 2 ලකුණු වාර්තා කිරිමට ප්‍රතිවාදීන් ඉඩ ලබා දුන්නේ නැහැ.

එහි දී මල්කි මදාරා සහ මල්ෂා ෂෙහානි කඩුලු 2 බැගින් දවා ගත් අතර රශ්මිකා සෙව්වන්දි, සත්‍යා සංදීපනී සහ නිමේෂා මධුශානි කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු Dambulla Women ඉනිම වෙනුවෙන් පිටියට එක් වූ ක්‍රීඩිකාවන් අතුරින් නායිකාව වූ හර්ෂිතා සමරවික්‍රම පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 58ක් ලබා ගත්තා.

ඊට අමතර ව කෞෂිනි නුත්‍යාංගා සහ මල්ෂා ෂෙහානි ලකුණු 12 බැගින් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී සුරංගිකා පෙරේරා, චේතනා විමුක්ති සහ ඔෂදි රණසිංහ කඩුල්ල බැගින් බෙදා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Galle Women – කඩුලු 9ක් දැවී 108 (20.0) නිලක්ෂනා සඳමිණි 28, නිලක්ෂි ද සිල්වා 38, මල්කි මදාරා 2/17, මල්ෂා ෂෙහානි 2/18
  • Dambulla Women – කඩුලු 4ක් දැවී 109 (18.2) හර්ෂිතා සමරවික්‍රම 58, සුරංගිකා පෙරේරා 1/04

Dambulla Women කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

තරගාවලියේ මීළඟ තරග ද්විත්වය පෙබරවාරි 17 වැනිදා  Colts ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. එහි දී Dambulla Women සහ Colombo Women කණ්ඩායම් පෙරවරුවේත් Galle Women සහ Kandy Women කණ්ඩායම් අතර තරගය පස්වරුවේත් පැවැත්විමට නියමිතයි.

මෙම තරගාවලියේ මෙන් ම දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<