ඇෆ්ගනිස්තානය නිහඬ කළ ශ්‍රී ලංකා මෙහෙයුම

Afghanistan Tour of Sri Lanka 2024

93
Afghanistan Tour of Sri Lanka 2024

සංචාරක ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැති එක්දින ජාත්‍යන්තර තරගාවලියේ දී 3-0ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූවා.

• පළමු තරගය

ශ්‍රී ලංකාව – කඩුලු 3ක් දැවී 381 (50.0) පැතුම් නිස්සංක නොදැවී 210,අවිශ්ක ප්‍රනාන්දු 88,  Fareed Ahmad 2/79

ඇෆ්ගනිස්තානය – කඩුලු 6ක් දැවී 339 (50.0) Azmatullah Omarzai නොදැවී 149, Mohammad Nabi 136, ප්‍රමෝද් මධුශාන් 4/75

ශ්‍රී ලංකාවට ලකුණු 42ක ජයක්.

තරගයේ වීරයා – පැතුම් නිස්සංක

• දෙවැනි තරගය

ශ්‍රී ලංකාව – කඩුලු 6ක් දැවී 308 (50.0) චරිත් අසලංක නොදැවී 97, කුසල් මෙන්ඩිස් 61, සදීර සමරවික්‍රම 52, ජනිත් ලියනගේ 50, Azmatullah Omarzai 3/56

ඇෆ්ගනිස්තානය – සියලුම දෙනා දැවී 153 (33.5) Rahmat Shah 63, Ibrahim Zadran 54, වනිඳු හසරංග 4/27

ශ්‍රී ලංකාවට ලකුණු 153ක ජයක්.

තරගයේ වීරයා – චරිත් අසලංක

• තෙවැනි තරගය

ඇෆ්ගනිස්තානය – සියලුම දෙනා දැවී 266 (48.2) Rahmat Shah 65, Azmatullah Omarzai 54, ප්‍රමෝද් මධුශාන් 3/45

ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී 267 (35.2) පැතුම් නිස්සංක 118, අවිශ්ක ප්‍රනාන්දු 91, Qais Ahmad 2/46

ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්.

තරගයේ වීරයා – පැතුම් නිස්සංක

තරගාවලියේ වීරයා – පැතුම් නිස්සංක

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙරට තරග ඉතිහාසයේ තරග 3කින් යුත් පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් ලබා ගන්නේ 2020 වසරේ දී මෙරට සංචාරයක නිරත වු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ 3-0ක පරාජයට පත් කළ පසුවයි.

කෙසේ වෙතත් මෙම තරග ත්‍රිත්වයේ ජයග්‍රහණය මෙරට ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී ම ජයග්‍රහණයක් බවට පත් වුනා. එය එසේ වන්නේ පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට ලක් වූ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රේක්ෂකයන් විසින් ප්‍රතික්ෂේප කරන මට්ටමේ සිටීම තුළ ලැබූ ජයග්‍රහණයක් වන නිසායි.

මෙම පෙරළිකාර ජයග්‍රහණයේ දී පිතිකරුවන් ලෙසින් පැතුම් නිස්සංකට අමතර ව අවිශ්ක ප්‍රනාන්දු සහ චරිත් අසලංක ද සුවිශේෂී දායකත්වයක් දවනු ලැබූ අතර පන්දු යවන්නන් අතුරින් ප්‍රමෝද් මධුශාන් සහ වනිඳු හසරංග ද තමන්ගේ මට්ටමේ සිටිමින් මෙම ජයග්‍රහණයට දැක් වූ දායකත්වය සුවිශේෂයි.

ඒ සුවිශේෂී බවට අමතර ව නිමා වූ තරගාවලියේ දී තවත් සුවිශේෂී කඩඉම් කිහිපයක් ම කතා බහට ලක් වුනා.

2000: පැතුම් නිස්සංක එක්දින ජාත්‍යන්තර ලකුණු 2000 සමාජයට එක් වීම.

52: පැතුම් නිස්සංක තම එක්දින ජාත්‍යන්තර ලකුණු 2000 වාර්තා කිරීම සඳහා වැය කරන්නේ තරග 52ක් පමණක් වන අතර එම දක්ෂතාව මෙරට ක්‍රීඩකයෙක් එම කඩඉමට වේගයෙන් ම ළඟා වූ ක්‍රීඩකයා බවට ද පත් වුනා.

මෙම වාර්තාවේ එතෙක් රැදී සිටියේ උපුල් තරංග. ඔහු ලකුණු 2000 ලබා ගැනීම සඳහා තරග 63කට සහභාගී වී තිබුණා.

පැතුම් මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 52කට සහභාගී වෙමින් ඉනිම 52ක දී ලකුණු 2074ක් ලබා සිටිනවා. මෙම ලකුණු සංඛ්‍යාව තුළ ශතක 5ක් සහ අර්ධ ශතක 13ක් ද ඇතුලත්.

346: පැතුම් නිස්සංක නිමා වූ ඇෆ්ගනිස්තානය සමඟ තරගාවලියේ ඉනිම 3ක දී 210*, 18 සහ 118ක් ලෙසින් ලබා ගත් මෙම ලකුණු සංඛ්‍යාව මෙරට ක්‍රීඩකයන් අතුරින් තරග 3කින් යුත් තරගාවලියක පිතිකරුවෙක් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව බවට පත් වූ අතර ඊට ලෝක ඉතිහාසයේ හිමි වූයේ සිව් වැනි ස්ථානයයි.

මෙම වාර්තාවේ මීට පෙර මෙරට වාර්තාවේ රැදී සිටියේ රොෂාන් මහානාම. ඔහු 1994 වසරේ දී සිම්බාබ්වේ කණ්ඩායම හා සමඟ එරට දී පැවැති තරගාවලියේ දී ලකුණු 267ක් ලබා ගනිමින් එහි රැදී සිටියා. එම තරගාවලියේ දී රොෂාන් මහානාමගේ ලකුණු ලබා ගැනීම සටහන් වූයේ 119*, 108ක් සහ 40ක් ලෙසයි.

කෙසේ වෙතත් නිමා වූ තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු ලැයිස්තුවේ 2 වැනි ස්ථානය ඉනිම 3ක දී ලකුණු 206ක් ලබා ගත් ඇෆ්ගනිස්තානයේ Azmatullah Omarzai ද සහ තෙවැනි ස්ථානය අවිශ්ක ප්‍රනාන්දු ද ලබා ගත්තා. අවිශ්ක ප්‍රනාන්දු තරග 3ක ඉනිම් 3ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 184ක් ලබා සිටියා.

210*: පැතුම් නිස්සංක නොදැවී වාර්තා කරන ලද ලකුණු 210, මෙවර තරගාවලියේ පිතිකරුවෙක් ඉනිමක දී වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට පත් වුනා.

එහි 2 වැනි ස්ථානය නොදැවී ලකුණු 149ක් ලබා ගත් ඇෆ්ගනිස්තානයේ Azmatullah Omarzai සතු වූ අතර තෙවැනි ස්ථානය ලකුණු 136ක් ලබා ගත් Mohammad Nabi සතු වුනා.

8: ප්‍රමෝද් මධුශාන් ලබා ගන්නා ලද කඩුලු ප්‍රමාණය මෙවර තරගාවලියේ පන්දු යවන්නෙක් ලබා ගත් ඉහළ ම කඩුලු ප්‍රමාණයයි.

මෙම ලැයිස්තුවේ 2 වැනි ස්ථානය අසිත ප්‍රනාන්දු ද සහ තෙවැනි ස්ථානය වනිඳු හසරංග ද සතු කර ගත්තා. ඔවුන් දෙදෙනා කඩුලු 4ක් බැගින් ලබා ගනිමින් එම ස්ථානවලට පත් වූවා.

4/27 (6.5): වනිඳු හසරංග විසින් 2 වැනි එක්දින තරගයේ දී යවනු ලැබූ වාර්තාගත පන්දු යැවීම මෙවර තරගාවලියේ පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතාව බවට ද පත් වුනා.

ඊට අමතර ව ප්‍රමෝද් මධුශාන් පන්දුවාර 10.0ක දී ලකුණු 75කට කඩුලු 4ක් දවා ගනිමින් ද සහ ඔහු ම පන්දුවාර 8.2ක දී ලකුණු 45කට කඩුලු 3ක් දවා ගනිමින් ද මෙම ලැයිස්තුවේ 2 වැනි සහ 3 වැනි ස්ථානවලට ද හිමිකම් කී දක්ෂතාවන් දැක්වීමට සමත් වුනා.

381/3 (50.0): ශ්‍රී ලංකාව විසින් පළමු තරගයේ දී කඩුලු 3ක් දැවී වාර්තා කරන ලද මෙම ලකුණු ප්‍රමාණය, මෙම තරගාවලියේ කණ්ඩායමක් ලබා ගත් ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට පත් වුනා.

එය මෙරට ඉතිහාසයේ පැවැති එක්දින තරගවල දී වාර්තා වූ ඉහළ ම ඉනිම් අතර තෙවැනි ස්ථානයට පත් ඉනිමයි.

එහි පළමු අසුන හිමි වෙන්නේ 1996 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව, කෙන්යාවට එරෙහි ව අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී කඩුලු 5ක් දැවී ලබා ගන්නා ලද ලකුණු 398ටයි.

4: පැතුම් නිස්සංක පිතිකරුවෙක් ලෙසින් පමණක් නොව පන්දු රකින්නෙක් ලෙසින් ද මෙම තරගාවලියේ දී දක්ෂතා දැක් වීම කැපී පෙණුනා. ඔහු මෙම තරගාවලියේ දී උඩ පන්දු 4ක් රැක ගන්නා ලද අතර එය එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත් දක්ෂතාවයි.

242: මෙම තරගාවලියේ පිතිකරුවන් දෙදෙනෙක් අතර වාර්තා වූ ඉහළ ම ලකුණු සබඳතාවේ ගෞරවය හිමි කර ගන්නේ ඇෆ්ගනිස්තානයේ Mohammad Nabi සහ Azmatullah Omarzai. ඔවුන් දෙදෙනා පළමු එක්දින ජාත්‍යන්තර තරගයේ දී 6 වැනි කඩුල්ලේ දී මෙම දක්ෂතාව දක්වනවා.

එය ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ඉතිහාසයේ 2 වැනියට පත් දක්ෂතාවයි.

එහි පළමු වැන්න රැදී තිබෙන්නේ 2023 වසරේ දී බංග්ලාදේශයට එරෙහි ව Rahmanullah Gurbaz සහ Ibrahim Zadran එක් ව පළමු කඩුල්ලට ලබා ගන්නා ලද ලකුණු 256ක සබඳතාවයි.

මෙම තරගාවලියේ ප්‍රතිඵලය ඉතා සුවිශේෂී වෙන්නේ, මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ නැවත ක්‍රීඩාංගණ කරා රැගෙන ඒමට හැකි වාතාවරණයක් මේ වන විට නිර්මාණය වීමයි. එය ක්‍රිකට් ලැදි කාගේත් බලාපොරොත්තුවක්.

මෙම තත්ත්වය තව දුරටත් වර්ධනය කර ගැනීමට හැකි වේවායි ThePapare.com හී උණුසුම් සුබ පැතුම්.

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ද ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<