ශ්‍රී ලංකා A කණ්ඩායම තරගාවලි ජයක් ලබයි!

Afghanistan A Tour of Sri Lanka 2024

97
Afghanistan A Tour of Sri Lanka 2024

ඇෆ්ගනිස්තාන A කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පස් වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 5 පරාජයක් උරුම වුනා.

හම්බන්තොට දී අද (07) උදෑසන ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්තානය සතු වූ අතර, ඔවුන්ගේ තීරණය වුනේ පළමුව පන්දු යැවීමයි.

ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් නිශාන් මදුශ්ක සහ මිනෝද් භානුක ආරම්භ පිතිකරුවන් ලෙස පිටියට පිවිසුණු නමුත් ඔවුන්ට අද දිනයේ සාර්ථක පිතිකරණයක නියැලීමට හැකි වුනේ නැහැ. කෙසේ වෙතත් ඉනිමේ අංක හතර පිතිකරු වූ පසිඳු සූරියබණ්ඩාර විසින් පන්දු 92ක් තුළ ලකුණු 70ක් වාර්තා කරමින් අගනා ඉනිමක් දියත් කිරීමට සමත් වූ අතර, ඒ වෙනුවෙන් ඔහු හතරේ පහර 8ක් එල්ල කිරීමට සමත් වුනා.

කෙසේ වෙතත් වෙනත් කිසිදු ශ්‍රී ලාංකික පිතිකරුවකු හෝ පසිඳුට සහය ලබා දීමට සමත් නොවූ අතර, මේ නිසා ශ්‍රී ලංකා ඉනිම ලකුණු 197කට සීමා වුනා. ඇෆ්ගනිස්තානය වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ Naveed Zadran කඩුලු 4ක් බිඳ හෙළද්දී, Nangeyalia Kharote කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා.

ශ්‍රී ලංකාවෙන් ලද ඉලක්කය හඹා යාම සඳහා ඇෆ්ගන් ආරම්භ පිතිකරුවන් පිටියට පිවිසි අතර, මෙවරත් අනර්ඝ ඉනිමක් දියත් කිරීමට සමත් වූ Riaz Hassan විසින් පන්දු 117ක් තුළ වටිනා ලකුණු 74ක් ලබා ගැනීමට සමත් වුනා.

මීට අමතරව Darwish Rasooli, ලකුණු 36කින් සහ Shahidullah ලකුණු 47කින් ඇෆ්ගන් ඉනිමට දායක වුනා.

මේ අනුව ඇෆ්ගනිස්තාන A කණ්ඩායම විසින් පන්දුවාර 45ක් තුළ අදාළ ඉලක්කය හඹා යාමට සමත් වුනා. මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ මොහොමඩ් ශිරාස් සහ දුශාන් හේමන්ත කඩුලු 2 බැඟින් දවා ගත්තා.

  • ශ්‍රී ලංකාA – 197/10 (43) පසිඳු සූරියබණ්ඩාර 70, මිනෝද් භානුක 24, Naveed Zadran 4/45, Nangeyalia Kharote 3/31
  • ඇෆ්ගනිස්තාන A– 198/5 (45) Riaz Hassan 74, Shahidullah 47,මොහොමඩ් ශිරාස් 2/23, දුශාන් හේමන්ත 2/46

තරගාවලියේ අවසන් එක්දින තරගයෙන් ඇෆ්ගන් A කණ්ඩායමට කඩුලු 5ක ජයක් හිමි වුනත්, ශ්‍රී ලංකා A කණ්ඩායම විසින් තරග පහකින් සමන්විත වූ එක්දින තරගාවලිය 3-2ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

ශ්‍රී ලංකා A සහ ඇෆ්ගනිස්තාන A කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත එකම නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය එළඹෙන 11 වැනි දා ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාවලිය පිළිබඳ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<