හසරංග තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල පළමු 10ට!

385

ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ICC විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩක වර්ගීකරණයේ 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා. මේ ඔහු තුන් ඉරියව් ක්‍රීඩක වර්ගීකරණයේ ප්‍රථම ස්ථාන 10 තුළට පැමිණි පළමු වතාවයි.

හසරංග අයර්ලන්තයට එරෙහි තරගයේ දී ප්‍රවේගකාරී ලකුණු 71ක් රැස් කරමින් පන්දුවාර 4ක් යවා ලකුණු 12කට එක් කඩුල්ලක් ද දවා ගත්තේ තරගයේ වීරයා සම්මානය දිනා ගනිමින්.

නවතම ICC විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉන්දීය නායක Virat Kohli සිව්වැනි ස්ථානයේ සිට පස්වැනි ස්ථානය දක්වා පසුබැස තිබෙනවා. ඉන්දීය පිතිකරු KL Rahul ද සයවැනි ස්ථානයේ සිට අටවන ස්ථානය දක්වා පසුබැස තිබීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් ඉන්දියාව හා පාකිස්තානය අතර පැවති තරගයේ දී Kohli පන්දු 49ක දී ලකුණු 57ක් රැස්කර ගත්තා. Rahul හට රැස්කර ගැනීමට හැකි වුනේ ලකුණු 3ක් පමණයි. පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල Kohli මේ වන විට ප්‍රසාද ලකුණු 725ක් රැස් කරගෙන සිටින අතර Rahulට ලකුණු 684ක් හිමිව තිබෙනවා.

පාකිස්තාන ආරම්භක පිතිකරු Mohammad Rizwan ස්ථාන තුනක් ඉදිරියට පැමිණ විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල සිව්වැනි ස්ථානය දක්වා පැමිණ තිබෙනවා. මේ ඔහු ICC පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල පැමිණි ඉහළම ස්ථානයයි. ඔහු ඉන්දියාවට එරෙහි තරගයේ දී ලකුණු 79ක් රැස් කළ අතර නවසීලන්තයට එරෙහිව ද ලකුණු 33ක් රැස්කර ගන්නට සමත් වුනා.

දකුණු අප්‍රිකානු පිතිකරු Aiden Markram ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 40ක් හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුණු 51ක් රැස් කළ අතර ඔහු සිය ක්‍රීඩා දිවියේ ඉහළටම දක්ෂතාවය වාර්තා කරමින් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල තුන්වැනි ස්ථානය දක්වා පැමිණීමට සමත්ව තිබෙනවා.

Dawid Malan පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ රැඳී සිටින අතර දෙවැනි ස්ථානය හිමිව තිබෙන්නේ පාකිස්තානු කණ්ඩායමේ නායක Babar Azam හටයි.

ස්කොට්ලන්තයට එරෙහිව රැස් කළ ලකුණු 46 නිසා ඇෆ්ගනිස්තානු පිතිකරු Rahmanullah Gurbaz පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල 12 වැනි ස්ථානයට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 62ක් රැස් කළ බංග්ලාදේශ ආරම්භක පිතිකරු Mohammad Naim ද ස්ථාන 11ක් ඉදිරියට පැමිණ 13 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

ඉන්දියාවට එරෙහි තරගයේ දී සුපිරි දස්කම් දැක්වූ පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක Shaheen Afridi පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 11ක් ඉදිරියට පැමිණ 12 වැනි ස්ථානයේ රැඳී සිටිනවා. ඔහු ඉන්දියාවට එරෙහිව ලකුණු 31කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

නවසීලන්තයට එරෙහිව කඩුලු 4ක් දවා ගත් පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක Harris Rauf සිය ක්‍රීඩා දිවියේ ඉහළම ශ්‍රේණිගත කිරීම සටහන් කරමින් 17 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

Hindustan Times ඇසුරෙන්

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<