කුසල් ගේ පළමු උත්සාහය අසාර්ථකයි

Sri Lanka tour of Pakistan 2026

3
Sri Lanka tour of Pakistan 2026

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලිය ආරම්භ කරමින් (9දා) Rawalpindi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති තරගයෙන් පාකිස්තාන ක්‍රීඩකයෝ කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.

ශ්‍රී ලංකා කණ්ඩායම

කුසල් මෙන්ඩිස් (නායක සහ කඩුලු රකින්නා), ලහිරු උදාර, කමිල් මිෂාර, කමිඳු මෙන්ඩිස්, සහන් ආරච්චිගේ, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුශ්මන්ත චමීර, එශාන් මාලිංග සහ නුවන් තුෂාර.

පාකිස්තාන කණ්ඩායම

Sahibzada Farhan (නායක), Fakhar Zaman, Maaz Sadaqat, Hasan Nawaz, Saim Ayub, Khawaja Nafay (කඩුලු රකින්නා), Muhammad Imran, Razaullah, Naseem Shah සහ Abrar Ahmed.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිම අසාර්ථක ආරම්භයකින් යුත් වූවා. ඉනිම ආරම්භක පිතිකරු යුගලයෙන් කෙනෙක් වූ නායක කුසල් මෙන්ඩිස් ගේ ඉනිම ලකුණකට සීමා වූ අතර කමිල් මිෂාරට ද මෙම තරගයේ දී ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 6ක් පමණයි.

එම කඩුලු 2 අහිමි වෙද්දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 18ක් ව පැවැතිය ද ඉන් අනතුරු ව පිටියේ රැඳී සිටි ආරම්භක පිතිකරු ලහිරු උදාර හා එක් වූ කමිඳු මෙන්ඩිස් 3 වැනි කඩුල්ලට පන්දු 37ක දී ලකුණු 60ක සබඳතාවක් එක් කරනවා.

එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ කමිඳු මෙන්ඩිස් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 23ක් ලබා තමන් මුහුණ දුන් 18 වැනි පන්දුවේ දී දැවී යෑමත් සමඟිනුයි.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ 3 වැනි පන්දුවේ දී සහන් ආරච්චිගේ ද ලකුණක් පමණක් ලබා සිටිය දී දැවී යනවා. ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිම දැක් වුණේ කඩුලු 4ක් දැවී ලකුණු 83ක් ලෙසයි.

එලෙසින් වූ ඉනිම නැවත අළු ගසා දමා දළු ලන්නේ ලහිරු උදාර සහ දසුන් ශානක එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 34ක දී ලකුණු 57ක සබඳතාවක් එක් කිරීමත් සමඟිනුයි. දසුන් ශානක පන්දු 15කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් ලකුණු 18කට දැවී යෑමත් සමඟින් එම සබඳතාව බිඳ වැටෙනවා.

ලහිරු උදාර ඉනිමේ 7 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 91ක් ලබා සිටි අතර එය ඔහුගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 5ක හොඳම ඉනිම බවට ද පත් වුණා.

ඔවුන්ට අමතර ව දුනිත් වෙල්ලාලගේ (5), මහීෂ් තීක්ෂණ (1) ද තම ඉනිම් අඩු ලකුණුවලට සීමා කර ගනිමින් දැවී යන අතර ඉනිම අවසන් වෙද්දි දුශ්මන්ත චමිර නොදැවී ලකුණු 6ක් සහ එශාන් මාලිංග නොදැවී ලකුණක් ලබා නොදැවී පිටියේ රැඳී සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Naseem Shah ලකුණු 36කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Mohammad Imran කඩුලු ද්විත්වයක ද, Saim Ayub, Razaullah සහ Shadab Khan කඩුල්ල බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පාකිස්තාන ක්‍රීඩකයෝ ප්‍රවේගවත් ආරම්භයක් ලබා ගන්නවා. ඔවුන් තම පළමු ප්‍රහාරත්මක පන්දුවාර 6 අවසන් කරන්නේ කඩුල්ලක් පමණක් දැවී ලකුණු 70ක් ලබා ගනිමිනුයි.

එහි දී එම ඉනිම ආරම්භ කළ නායක Sahibzada Farhan සහ Fakhar Zaman එක් ව පළමු කඩුල්ලට පන්දු 31ක දී ලකුණු 54ක සබදතාවක් එක් කරනවා.

එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ Fakhar Zaman ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 21ක් ලබා සිටියා.

එම සබඳතාවෙන් අනතුරු ව ද නැවතත් පාකිස්තාන ඉනිම ප්‍රහාරාත්ම වේගයකින් පවත්වාගෙන යෑමට Sahibzada Farhan සහ Maaz Sadaqat සමත් වෙනවා. ඔවුන් දෙනො එක් ව පන්දු 52ක දී ලකුණු 92ක සබඳතාවක් එක් කරනවා.

Maaz Sadaqat පන්දු 29ක දී හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් සමඟින් ලකුණු 50කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන අතර එය ඔහුගේ විස්සයි විස්ස තරග දිවියේ ලබා ගත් මංගල අර්ධ ශතකයයි.

 Sahibzada Farhan ඉනිමේ 5 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 89ක් ලබා සිටියා. එය ඔහුගේ විස්සයි විස්සයි ජාත්‍යන්තර තරග දිවියේ 11 වැනිඅර්ධ ශතකයයි.

ජයග්‍රාහී පාකිස්තාන ඉනිමේ එම ඉනිම්වලට අමතර ව තරගය අවසන් වෙද්දී Khawaja Nafay පන්දු 7ක දී හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 12ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී ඒශාන් මාලිංග සහ මහීෂ් තීක්ෂණ කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර නුවන් තුෂාර සහ දුශ්මන්ත චමීර කඩුල්ල බැගින් බෙදා ගන්නවා.

මෙම තරගයේ දී Hasan Nawaz ගේ කඩුල්ල දවා ගත් දුශ්මන්ත චමීර තම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ 100 වැනි කඩුල්ල වාර්තා කළා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව – කඩුලු 8ක් දැවී 182 (20.0) ලහිරු උදාර 91, කමිඳු මෙන්ඩිස් 23, Naseem Shah 3/36, Mohammad Imran 2/21

 

පාකිස්තානය – කඩුලු 6ක් දැවී 187 (18.5) Sahibzada Farhan 89, Fakhar Zaman 21, Maaz Sadaqat 50, එශාන් මාලිංග 2/33, මහීෂ් තීක්ෂණ 2/36

 

පාකිස්තාන කණ්ඩායමට කඩුලු 4ක ජයක්.

තරගයේ වීරයා – Sahibzada Farhan (පාකිස්තානය)

දෙරට අතර පැවැත්වෙන 2 වැනි විස්සයි විස්සයි ජාත්‍යන්තර තරගය මේ මස 11 වැනිදා මෙම ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයේ උණුසුම ThePapare 1 සහ 1 HD (Dialog TV Ch. 62 සහ 126) සහ Dialog Play App හරහා විඳගත හැකියි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<