එක් උත්සාහක දිනුමකින් ඩී. එස් හමුවේ වෙස්ලි ජය ගනී

721

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ තවත් තරගයක් අද (26) කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය හා කොළඹ වෙස්ලි විද්‍යාලය අතර පැවැත්වූයේ CR & FC පිටියේ දීයි. ඉතාමත් තියුණු තරගයකින් අනතුරුව තරගය නිමා වූයේ ලකුණු 05-00ක් ලෙස වෙස්ලි ක්‍රීඩකයින් ජයග්‍රහණය කරමිනි.

ප්‍රථම අර්ධයේ වාසියෙන් සිල්වෙස්තර ක්‍රීඩකයින් පෙරමුණේ

සිංගර් පාසල් රග්බි ලීග් තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් පසුගිය දා (25) පැවැත්වූයේ කොළඹ ආනන්ද…

පසුගිය සතියේ දී පැවති තරගයෙන් ඩී. එස්. සේනානායක විද්‍යාලය, කොළඹ සහිරා විද්‍යාලය හමුවේ ලකුණු 19-17ක් ලෙස පරාජය වූ අතර වෙස්ලි විද්‍යාලය ලකුණු 33-17ක් ලෙස සාන්ත පීතර විද්‍යාලය හමුවේ පරාජය වෙමින් මෙම තරගයට අවතීර්ණ විය. එබැවින් මේ කණ්ඩායම් දෙකටම මෙම තරගයේ ජයග්‍රහණය ඉතාමත් වැදගත් එකක් විය.

වෙස්ලි විද්‍යාල ක්‍රීඩකයෙකුගේ පා පහරත් සමඟින් සවස 4.35ට පමණ ආරම්භ වූ මේ තරගයේ ආරම්භයේ සිටම තරමක් උණුසුම් ක්‍රීඩා විලාසයක් දෙපිලෙන්ම දිස්වූ අතර පිටියේ වාසිය ඩී. එස්. සේනානායක විද්‍යාලය අත තිබුණ ද, වෙස්ලි විද්‍යාලයේ ආරක්ෂක වළල්ල හමුවේ ඩී. එස්. සේනානායක විද්‍යාල ක්‍රීඩකයින් ලකුණු ලබා ගැනීමට උත්සාහ කළ අවස්ථාවන් කිහිපයක්ම ව්‍යර්ථ විය.

දෙපිලේම ක්‍රීඩකයින් පන්දුව සමඟින් පොර බැදුවත් සාර්ථකව ධවල රේඛාව ඉක්මවා යමින් ලකුණු පුවරුව සක්‍රිය කිරීමට පළමු අර්ධය අවසන් වන තෙක් කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් අසමත් විය.

පළමු අර්ධය: ඩී. එස්. සේනානායක විද්‍යාලය 00 – 00 වෙස්ලි විද්‍යාලය

කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් එක හා සමානව තරගයේ 57 වන මිනිත්තුව දක්වාම ක්‍රීඩා කළ අතර ප්‍රේක්ෂකාගාරයේ දෙනෙත් එක එල්ලේම තරගය වෙත යොමුව තිබුණේ එතෙක් එකදු කණ්ඩායමක් හෝ සිය විද්‍යාල ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වූ බැවිනි.

නමුත් තරගයේ 58 වන මිනිත්තුවේ දී  අංක 14 ක්‍රීඩක කාවින්දන පෙරේරා ඩී. එස්. සේනානායක විද්‍යාලයේ හිඩැසක් අතරින් සීරුවට රිංගා යමින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේ වෙස්ලි විද්‍යාලය වෙනුවෙන් දැකුම්කළු උත්සාහක දිනුමක් වාර්තා කරමිනි. නමුත් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට මුර්ශිඩ් සුබෙයිර් අපොහොසත් විය.

තරගයේ නියමිත කාලය අවසන් වන තෙක් ඩී. එස්. ක්‍රීඩකයින් ලකුණු ලබා ගැනීමට කළ උත්සාහයක් කිසිවක් සාර්ථකව ලකුණු බවට පරිවර්තනය නොවුනු අතර අවසානයේ ලකුණු 05-00ක් ලෙස තරගය ජයග්‍රහණය කිරීමට වෙස්ලි විද්‍යාලය සමත් වූයේ මෙවර තරගාවලියේ  සිය පළමු ජයග්‍රහණය ලබා ගනිමිනි.

තරගය පුරාවට කහ කාඩ්පත් දෙකක් නිකුත් වූ අතර වෙස්ලි විද්‍යාල ක්‍රීඩකයින් දෙදෙනෙකු වන ශ්‍රිතේෂ් ත්වරාජ් (14′) හා සැමුවෙල් ඔග්බෙබර් (33′) හට එම කාඩ්පත් දෙක නිකුත් විය.

අවසන් ලකුණු තත්වය: ඩී. එස්. සේනානායක විද්‍යාලය 00 – 05 (1T) වෙස්ලි විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: මුර්ශිඩ් සුබෙයිර් (වෙස්ලි විද්‍යාලය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්,

වෙස්ලි විද්‍යාලය: කාවින්දන පෙරේරා 1T.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<