බංග්ලාදේශය ලකුණු 187ක් ඉදිරියෙන්

Bangladesh Tour of Sri Lanka

67

ශ්‍රී ලංකා හා බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ 4 වැනි දිනය (20) අවසන් වෙද්දී තම දෙවැනි ඉනිමට ක්‍රීඩා කරන බංග්ලාදේශ ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාවට වඩා ලකුණු 187ක් ඉදිරියෙන් පසු වෙනවා. ඔවුන් සතු ව මෙම ඉනිමේ තවත් කඩුලු 7ක් ඉතිරි ව තිබෙන අතර තරගයේ තවත් ඉතිරි ව ඇත්තේ දිනක් පමණයි. 

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සංචාරක බංග්ලාදේශ ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 495ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් අද ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තම පළමු ඉනිමට ලබා ගත හැකි වූයේ ලකුණු 485ක් පමණයි.  

අද තරගය ආරම්භ වෙන්නේ තම පළමු ඉනිම සඳහා ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 4 දෙනෙක් දැවී ලකුණු 368ක් ලබා සිටියදීයි. ඒ වෙද්දී කමිඳු මෙන්ඩිස් ලකුණු 37ක් ද සහ නායක ධනංජය ද සිල්වා ලකුණු 17ක් ද ලබා ගනිමින් පිටියේ නොදැවී රැඳී සිටියා.  

දිනයේ පළමු කඩුල්ල ලෙසින් ඉනිමට ලකුණු 12ක් එක් වෙද්දී ධනංජය ද සිල්වා ගේ ඉනිම අහිමි වෙනවා. ඒ වෙද්දී දිනයේ යවමින් සිටියේ 5 වැනි පන්දු වාරයයි. ධනංජය ද සිල්වා දැවී යන විට පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 19ක් ලබා සිටියා.  

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් ගේ ඉනිම පන්දු 17ක ලකුණු 5කට සීමා වෙනවා. ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 386ක් ව තිබූ අතර ලකුණු 9ක් තුළ කඩුලු ද්විත්වයක් ලබා ගැනීමේ උද්දාමයෙන් බංග්ලාදේශ පන්දු යවන්නෝ පසු වුනා.  

නමුත් ඔවුන්ගේ සැලසුම් එතැන් සිට ව්‍යර්ථ කිරීමට කමිඳු මෙන්ඩිස් සහ මිලාන් රත්නායක සමත් වෙනවා. එතැන් සිට නැවත ශ්‍රී ලංකා කඩුල්ලක් දවා ගැනීමට පන්දුවාර 25ක් බලා සිටීමට ඔවුන්ට සිදු වෙනවා. ඒ අතර තරගය දිවා විවේකය සඳහා ද නතර කරන ලද අතර ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිම කියැවුණේ කඩුලු 6ක් දැවී ලකුණු 465ක් ලෙසයි.  

දිවා විවේකයෙන් අනතුරු ව යැවුණ 15 වැනි පන්දුවේ දී 7 වැනි කඩුල්ලේ සබඳතාව බිඳී යනවා. ඒ මිලාන් රත්නායක ගේ දැවී යෑමත් සමඟිනුයි. පන්දු 83කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 39ක් ලබා සිටි මිලාන් රත්නායක, කමිඳු මෙන්ඩිස් හා එක් ව එම කඩුල්ලට ලකුණු 84ක සබඳතාවක් ද එක් කරනවා.  

මිලාන් රත්නායක ගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ පන්දු 9ක් තුළ ලකුණක් පමණක් ලබා දෙමින් තවත් කඩුලු ද්විත්වයක් දවා ගැනීමට බංග්ලාදේශ ක්‍රීඩකයෝ සමත් වෙනවා. ඒ අතර ඔවුන්ට වැදගත් වූයේ කමිඳු මෙන්ඩිස් ගේ දැවී යෑමෙන් බිඳ වැටුණ කඩුල්ලයි. ඒ වෙද්දී ඔහු පන්දු 148කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 87ක් ලබා සිටියා.  

තම මංගල ටෙස්ට් තරගයට එක් වූ තරිඳු රත්නායක තමන් මුහුණ දුන් 7 වැනි පන්දුවේ දී කිසිදු ලකුණක් නොලබා දැවී යනවා.  

අනතුරු ව ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් අසිත ප්‍රනාන්දු ලකුණු 4ක් ලබා සිටිය දී දැවී යන අතර ඉනිම අවසන් වන විට ප්‍රභාත් ජයසූරිය පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 11ක් ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී දකුණතින් පිට දඟ පන්දු යවන Nayeem Hasan ලකුණු 121කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව ආරම්භක දකුණතින් වේග පන්දු යැවූ Hasan Mahmud ලකුණු 74කට කඩුලු 3ක් ද, Mominul Haque සහ Taijul Islam කඩුල්ලක් බැගින් ද දවා ගත්තා. 

ලකුණු 10ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිම ඇරඹු බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 24 දී අහිමි වූව ද එතැන් සිට විශ්වසනීය ඉනිමක් ගොඩ නැගීමට ඔවුන් සමත් වෙනවා.  

එහි දී වැඩි කාර්යභාරයක් සිදු කරනු ලැබුවේ ආරම්භක පිතිකරු Shadman Islam සහ නායක Najmul Hossain Shanto. ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 145ක දී ලකුණු 68ක සබඳතාවක් එක් කරනවා.  

තේ විවේකයට පන්දුවාර 2කට පෙර එක් වූ ඔවුන් දෙදෙනා බංග්ලාදේශ ඉනිම තේ විවේකයේ දී කඩුලු 2ක් දැවී ලකුණු 65ක් ලෙසින් ආරක්ෂා කරගත් අතර, තෙවැනි කඩුල්ල දැවී යන විට ලකුණු 128ක් දක්වා පෝෂණය කර තිබුණා.  

එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ Shadman Islam ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 126කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 76ක් ලබා සිටියා.  

තරගය පළමු දිනයට නතර කරන විට නායක Najmul Hossain Shanto පන්දු 113කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 56ක් ලබා සිටි අතර අනෙක් අන්තයෙන් Mushfiqur Rahim පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 22ක් ලබා සිටියා. ඔවුන් දෙදෙනා අතර මේ දක්වා සිව් වැනි කඩුල්ලේ නොබිඳුණ සබඳතාව පන්දු 77ක දී ලකුණු 49ක්.  

කඩුලු දවා ගැනීමේ දී මිලාන් රත්නායක, ප්‍රභාත් ජයසූරිය සහ තරිඳු රත්නායක කඩුල්ල බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව  

  • බංග්ලාදේශය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 495 (153.4) Mominul Haque 29, Najmul Hossain Shanto 148, Mushfiqur Rahim 163, Litton Das 90, අසිත ප්‍රනාන්දු 4/86, මිලාන් රත්නායක 3/39, තරිඳු රත්නායක 3/196
  • ශ්‍රී ලංකාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 485 (131.2) පැතුම් නිස්සංක 187, ලහිරු උදාර 29, දිනේෂ් චන්දිමාල් 54, ඇන්ජලෝ මැතිව්ස් 39, කමිඳු මෙන්ඩිස් 87, මිලාන් රත්නායක 39, Hasan Mahmud 3/74, Nayeem Hasan 5/121
  • බංග්ලාදේශය – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 177 (57.0) Shadman Islam 76, Najmul Hossain Shanto නොදැවී 56, Mushfiqur Rahim නොදැවී 22

හෙට (21) තරගයේ 5 වැනි සහ අවසන් දිනයයි. 

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<