ජපානයේ Aichi-Nagoya හි දී පැවැත්වෙන 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
Nisshin හී Korogi Athletic Park ක්‍රීඩාංගණයේ දී අද (3දා) පැවැති තෙවැනි ස්ථානය සඳහා වූ තරගයේ දී බංග්ලාදේශයට එරෙහි ව ලකුණු 63ක ජයග්‍රහණයක් ලබා ගත් ඔවුන් මෙම පදක්කම දිනා ගත්තා.
මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙර තරගය හා එක් වූ චාමික කරුණාරත්න සහ බිනුර ප්‍රනාන්දු වෙනුවට දුශාන් හේමන්ත සහ නුවන් තුෂාර කැඳවා තිබුණා. බංග්ලාදේශය වෙනුවෙන් මෙම තරගයේ දී 29 වැනි වියේ පසුවෙන දකුණතින් පිට දඟ පන්දු යවන Al Islam විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් දිනා ගත්තා.
>>ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම ලෝකඩ පදක්කම් සටනට<<
තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 9ක් දැවී ලකුණු 165ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි බංග්ලාදේශ ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 102ක් පමණයි.
ශ්‍රී ලංකා කණ්ඩායම
සහන් ආරච්චිගේ (නායක), සිනෙත් ජයවර්ධන, ලසිත් කෲස්පුල්ලේ, සොහාන් ද ලිවේරා (කඩුලු රකින්නා), නුවනිඳු ප්‍රනාන්දු, අශේන් බණ්ඩාර, තරිඳු රත්නායක, දුශාන් හේමන්ත, වනුජ සහන්, විජයකාන්ත් වියස්කාන්ත් සහ නුවන් තුෂාර.
බංග්ලාදේශ කණ්ඩායම
Litton Das (නායක සහ කඩුලු රකින්නා), Saif Hassan, Tanzid Hasan, Parvez Hossain Emon, Towhid Hridoy, Yasir Ali, Mahedi Hasan, Rishad Hossain, Nasum Ahmed, Al Islam සහ Mustafizur Rahman.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි පෙළ ක්‍රීඩකයන්ට අදත් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකි වෙන්නේ නැහැ. ඔවුන්ගේ පළමු කඩුලු 4 ලකුණු 21ක් වෙද්දී දැවී යනවා. ඒ වෙද්දී ඉනිමේ ගෙවා තිබුණේ පන්දු 23ක් පමණයි.
සිනෙත් ජයවර්ධන (3), ලසිත් කෲස්පුල්ලේ (2), නුවනිඳු ප්‍රනාන්දු (1) සහ සොහාන් ද ලිවේරා (6) ඊට ගොදුරු වූවා. ඊට පසු කඩුල්ලට එක් වූ නායක සහන් ආරච්චිගේ සහ අශේන් බණ්ඩාර එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 42ක දී ලකුණු 33ක සබඳතාවක් එක් කරමින් ශ්‍රී ලංකා ඉනිමට සැනසුම්දායක ලකුණු පුවරුවක් ගොඩ නගනවා.
එම කඩුල්ලේ සබඳතාව අවසන් වෙන්නේ අශේන් බණ්ඩාර ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු ඉනිම හැර යන විට පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 18ක් ලබා සිටියා.
අනතුරු ව ශ්‍රී ලංකා ඉනිමේ හොඳම කඩුලු සබඳතාව එක් කිරීමට සහන් ආරච්චිගේ සහ තරිඳු රත්නායක සමත් වෙනවා. ඔවුන් දෙදෙනා එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 44ක දී ලකුණු 93ක සබඳතාවක් එක් කරනවා.
තරිඳු රත්නායක පන්දු 32ක දී හයේ පහර 5ක් සහ හතරේ පහර 7ක් සමඟින් ලකුණු 65කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන අතර ඔහු තම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ මංගල අර්ධ ශතකය ලබා ගැනීමට වැය කරන්නේ පන්දු 26ක් පමණක් වීම කැපී පෙණුනා.
සහන් ආරච්චිගේ ඉනිමේ 8 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 33ක් ලබා සිටියා.
දුශාන් හේමන්ත (2) සහ විජයකාන්ත් වියස්කාන්ත් (6) තම ඉනිම් අඩු ලකුණුවලට සීමා කර ගත් අතර ශ්‍රී ලංකා ඉනිම අවසන් වෙද්දී වනුජ සහන් ලකුණු 5ක් ලබා ගනිමින් ද සහ නුවන් තුෂාර ලකුණු 2ක් ලබා ගනිමින් ද නොදැවී පිටියේ රැඳී සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Mahedi Hasan, Saif Hassan සහ Mustafizur Rahman කඩුලු ද්විත්වය බැගින් දවා ගනිද්දී Al Islam සහ Rishad Hossain කඩුල්ල බැගින් දවා ගත්තා.
- Tier B T20 පිටියේ පෑ දස්කම් විස්කම්
- ශ්‍රී ලංකා කාන්තාවන්ට මෙවරත් රිදී පදක්කම
- පාකිස්තානයට යන ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- එංගලන්තය 3-0කින් ජයග්‍රහණය සමරයි
- ආසියානු ක්‍රිකට් ඉසව්වට ශ්‍රී ලංකා කණ්ඩායම් සූදානම්
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ ක්‍රීඩයන්ට ද සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ. ඔවුන්ගේ පළමු කඩුලු 4 ද පන්දු 23ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර ඒ වෙද්දී ඔවුන් ලබා සිටියේ ලකුණු 18ක් පමණයි.
බංග්ලාදේශ ඉනිමේ සාර්ථක ම ලකුණු සබඳතාව වූයේ 5 වැනි කඩුල්ලට පන්දු 27ක දී එක් වූ ලකුණු 32යි. එහි දී Yasir Ali සහ Parvez Hossain Emon පෙරමුණ ගත්තා. Parvez Hossain Emon පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 20කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.
Yasir Ali 8 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 16කට මුහුණ දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 21ක් ලබා සිටි අතර ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් Nasum Ahmed පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 26ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී වනුජ සහන්, නුවන් තුෂාර, තරිඳු රත්නායක සහ විජයකාන්ත් වියස්කාන්ත් කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා. ඊට අමතර ව සහන් ආරච්චිගේ සහ දුශාන් හේමන්ත කඩුල්ල බැගින් බෙදී ගියා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව – කඩුලු 9ක් දැවී 165 (20.0) සහන් ආරච්චිගේ 33, අශේන් බණ්ඩාර 18, තරිඳු රත්නායක 65, Mahedi Hasan 2/19, Saif Hassan 2/28, Mustafizur Rahman 2/43
බංග්ලාදේශය – සියලුම දෙනා දැවී 102 (17.3) Parvez Hossain Emon 20, Yasir Ali 21, Nasum Ahmed 26, නුවන් තුෂාර 2/18, තරිඳු රත්නායක 2/18, විජයකාන්ත් වියස්කාන්ත් 2/26, වනුජ සහන් 2/17
ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 63ක ජයක්.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















