Tamil Union අපරාජිතව T20 ශූරතාව දිනා ගනී

Major Club T20 Tournament 2026

1
Major Club T20 Tournament 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී SSC කණ්ඩායමට එරෙහි ව කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගත් Tamil Union C & AC ක්‍රීඩකයෝ එහි ශූරතාව දිනා ගත්තා.

කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (16දා) රාත්‍රී තරගයක් ලෙසින් පැවැති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් SSC ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 163ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි Tamil Union C & AC ක්‍රීඩකයෝ තවත් පන්දු 28ක් ද ඉතිරි ව තිබිය දී කඩුලු 3ක් පමණක් දැවී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගනිමින් තරගය ජයග්‍රහණය කරනවා. ඔවුන් මෙම ශූරතාව දිනා ගන්නේ තරගාවලියේ අපරාජිත ව සිටිමින් වීම විශේෂත්වයක්.

>>Tamil Union සහ SSC, T20 අවසන් මහා තරගය අද<<

SSC කණ්ඩායම මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ Major Club එක්දින තරගාවලියේ මෙන් ම විස්සයි විස්ස තරගාවලියේ ද අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලබා ගත්ත ද ඔවුන්ට එම අවස්ථාව ද්විත්වයේ ම අනුශූරතාවෙන් පමණක් සෑහීමකට පත් වීමට සිදු වුණා.

මෙම තරගයට පෙර Moors SC කණ්ඩායම සමඟ පැවැති Major Club එක්දින ක්‍රිකට්  තරගාවලියේ අවසන් මහා තරගයේ දී ඔවුන්ට ප්‍රතිවාදීන් හමුවේ පරාජය වීමට සිදුවෙමින් අනුශූරතාවෙන් පමණක් සෑහීමකට පත් වීමට සිදු වුණා.

Tamil Union C & AC කණ්ඩායම

මිනෝද් භානුක (නායක සහ කඩුලු රකින්නා), තනුක දාබරේ, සිනෙත් ජයවර්ධන, නවෝද් පරණවිතාන, ශාරුජන් ශන්මුගනාදන්, තෙවිඳු සේනාරත්න, සචිත ජයතිලක, ලහිරු සමරකෝන්, විහස් තෙව්මික, විජයකාන්ත් වියස්කාන්ත් සහ බිනුර ප්‍රනාන්දු.

SSC කණ්ඩායම

අවිශ්ක ප්‍රනාන්දු (නායක), විශාද් රන්දික, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), නුවනිඳු ප්‍රනාන්දු, නිපුන් ධනංජය, රනුද සෝමරත්න, දිනුර කළුපහන, කවිඳු නදීශාන්, ප්‍රභාත් ජයසූරිය, මල්ශ ප්‍රනාන්දු සහ මිහිරංග සිල්වා.

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ SSC නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කර ගන්නවා. ඒ අනුව ඉනිම ආරම්භ කළ විශාද් රන්දික සහ අවිශ්ක ප්‍රනාන්දු පළමු කඩුල්ලට පන්දු 50ක දී ලකුණු 89ක සබඳතාවක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ අවිශ්ක ප්‍රනාන්දු ගේ දැවී යෑමත් සමඟිනුයි.

පන්දු 25ක දී තම විස්සයි විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ 31 වැනි අර්ධ ශතකය වාර්තා කළ අවිශ්ක ප්‍රනාන්දු, දැවී යන විට පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 51ක් ලබා සිටියා.

එම කඩුල්ලෙන් අනතුරු ව ඔවුන්ගේ ඉනිමට සාර්ථක ලකුණු සබඳතාවන් එක්කර ගැනීමට ප්‍රතිවාදී Tamil Union C & AC කණ්ඩායමේ පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ. එහි දී කුසල් මෙන්ඩිස් (5), නුවනිඳු ප්‍රනාන්දු (5), නිපුන් ධනංජය (12), රනුද සෝමරත්න (7), දිනුර කළුපහන (2), කවිඳු නදීශාන් (5) ගේ ඉනිම් අඩු ලකුණුවලට සීමා කෙරෙන අතර ඔවුන්ගේ ඉනිම අවසන් වෙන විට ප්‍රභාත් ජයසූරිය ද එක් පන්දුවකට පමණක් මුහුණ දෙමින් ලකුණු නොලබා නොදැවී පිටියේ රැදී සිටියා.

ඉනිම ආරම්භ කළ විශාද් රන්දික ඉනිමේ සිව් වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 68ක් ලබා සිටියා. එය ඔහුගේ 42ක් වන විස්සයි විස්ස තරගවල හොඳම ඉනිම බවට ද පත් වුණා.

කඩුලු දවා ගැනීමේ දී නැවත වතාවක් තම කණ්ඩායම වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරත වීමට ආරම්භක වේග පන්දු යැවූ බිනුර ප්‍රනාන්දු සමත් වුණා. ඔහු තම පන්දුවාර 4 ලකුණු 22කට සීමා කරමින් කඩුලු 3ක් දවා ගන්නවා.

ඊට අමතර ව නවෝද් පරණවිතාන ලකුණු 34කට කඩුලු 2ක් ද, විජයකාන්ත් වියස්කාන්ත් සහ තනුක දාබරේ කඩුල්ල බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Tamil Union C & AC කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකි වෙන්නේ නැහැ. ඔවුන්ගේ ඉනිම පළමු කඩුල්ල පළමු පන්දුවාරයේ දී ම දැවී යන්නේ ඉනිමකට එකඳු ලකුණක් හෝ එක් වීමට පෙරයි.

ආරම්භය එලෙසින් අසාර්ථක වූව ද 2 වැනි කඩුල්ලට පන්දු 56ක දී ලකුණු 133ක සබඳතාවක් ගොඩ නැගීමට සිනෙත් ජයවර්ධන සහ නවෝද් පරණවිතාන සමත් වෙනවා. ඔවුන් දෙදෙනාගේ වේගවත් පිතිහරඹයේ දී සිනෙත් ජයවර්ධන තම අර්ධ ශතකය පන්දු 18ක දී ද සහ නවෝද් පරණවිතාන තම අර්ධ ශතකය පන්දු 29ක දී වාර්තා කිරීම කැපී පෙණුනා.

ඔවුන් දෙදෙනාගේ මේ ශතක සබඳතාව බිඳ වැටෙන්නේ සිනෙත් ජයවර්ධන ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු ඉනිම හැර යද්දී පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 82ක් ලබා සිටියා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව පිටියට පිවිසි නායක මිනෝද් භානුක ගේ ඉනිම ලකුණු 8කට සීමා වූව ද එතැන් සිට නැවත ප්‍රතිවාදීන්ට කඩුල්ලක් දවා ගැනීමට අවස්ථාවක් ලබා නොදීමට නවෝද් පරණවිතාන සහ ශාරුජන් ශන්මුගනාදන් වග බලා ගත්තා.

තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී නවෝද් පරණවිතාන පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 58ක් ද සහ ශාරුජන් ශන්මුගනාදන් පන්දු 14ක දී නොදැවී ලකුණු 8ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී  මල්ශ ප්‍රනාන්දු ලකුණු 37කට කඩුලු 2ක් දවා ගත් අතර මිහිරංග සිල්වා කඩුල්ලක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

SSC – කඩුලු 8ක් දැවී 163 (20.0) විශාද් රන්දික 68, අවිශ්ක ප්‍රනාන්දු 51, බිනුර ප්‍රනාන්දු 3/22, නවෝද් පරණවිතාන 2/34

 

Tamil Union C & AC – කඩුලු 3ක් දැවී 164 (15.2) සිනෙත් ජයවර්ධන 82, නවෝද් පරණවිතාන නොදැවී 58, මල්ශ ප්‍රනාන්දු 2/37

 

Tamil Union C & AC කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

  • තරගයේ වීරයා – සිනෙත් ජයවර්ධන (Tamil Union C & AC)
  • තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා – නවෝද් පරණවිතාන (Tamil Union C & AC)
  • තරගාවලියේ දක්ෂතම පිතිකරු – සොහාන් ද ලිවේරා (Moors SC)
  • තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – විජයකාන්ත් වියස්කාන්ත් (Tamil Union C & AC)

Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<