ක්රිකට් පිටියෙන් ඔබ්බට ගිය ජීවිත රැක ගැනීමේ ජාතික පණිවිඩයක්
කොළඹ | 2026 ජූලි
Lanka Premier League (LPL) 2026 තරගාවලිය ආරම්භ වීමට පෙර, Dambulla Sixers කණ්ඩායම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින්, පිළිකා පිළිබඳ ජාතික දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට සූදානම් වෙයි.
මෙවර LPL තරගාවලියේ පළමු පන්දුව යොමු වීමටත් පෙර, ජූලි 17 වැනිදා, Dambulla Sixers කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින්, පුහුණු කාර්ය මණ්ඩලය සහ නිලධාරීන්, සිය තරග ව්‍යායාම ආරම්භ කිරීමට පෙර “සුව අරණ – A Place for Healing” වෙත පැමිණ පිළිකාව සමඟ සටන් කරන දරුවන් සහ ඔවුන්ගේ පවුල් හමුවීමට නියමිතය.
එහි දී ක්‍රීඩකයින් දරුවන් සමඟ කාලය ගත කරමින් ඔවුන්ට ත්‍යාග පිරිනමනු ඇති අතර, LPL 2026 Pink Campaign නිල වශයෙන් ද ආරම්භ කෙරේ.
සුව අරණ යනු Indira Cancer Trust විසින් පවත්වා ගෙන යනු ලබන ශ්‍රී ලංකාවේ පළමු ළමා සහන සත්කාර හා නේවාසික මධ්‍යස්ථානය වන අතර, අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන දිවයින පුරා සිට පැමිණෙන දරුවන් සහ ඔවුන්ගේ පවුල් සඳහා නොමිලේ නවාතැන්, ආහාර, මානසික සහ සමාජීය සහාය ලබා දෙන සුවිශේෂී මධ්‍යස්ථානයකි.
මෙම සංචාරයෙන් අනතුරුව Dambulla Sixers කණ්ඩායම නිල LPL මාධ්‍ය හමුවට සහ සමාරම්භක උත්සවයට සහභාගී වනු ඇත.
ජූලි 19 – LPL Pink Match
මෙම ජාතික දැනුවත් කිරීමේ වැඩසටහනේ උච්චතම අවස්ථාව ලෙස ජූලි 19 වැනිදා පැවැත්වෙන Dambulla Sixers සහ Jaffna Kings අතර Pink Match තරගය සංවිධානය කෙරේ.
එදින Dambulla Sixers ක්‍රීඩකයින් විශේෂයෙන් නිර්මාණය කළ රෝස පැහැති ක්‍රීඩා ඇඳුම් සහ රෝස පැහැති හිස් ආවරණ පැළඳ ක්‍රීඩා කරන අතර, ක්‍රීඩාංගණය පුරාම, දැවැන්ත LED තිරවල සහ සජීවී රූපවාහිනී විකාශය තුළ පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ පණිවිඩ ප්‍රදර්ශනය කෙරේ.
සුව අරණේ දරුවන්, SOS Children’s Villages Sri Lanka හි දරුවන් සහ කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් එක්ව තරගයට පෙර විශේෂ උත්සවයකට ද සහභාගී වන අතර, එම අවස්ථාව LPL ඉතිහාසයේ අර්ථවත්ම මොහොතක් බවට පත්වනු ඇත.
එමෙන්ම Pink Fan T-Shirts අලෙවියෙන් ලැබෙන ආදායම Indira Cancer Trust වෙත පරිත්‍යාග කෙරේ.
- ලෝක කුසලාන ඉහළ ම ලකුණු සංඛ්‍යාව ලබා දී ශ්‍රී ලංකාව පරාජය වෙයි
- 19න් පහළ යොවුන් තරගාවලියට අදත් වර්ෂාවෙන් බාධා
- වාර්තා පොත් අලුතින් ලියැවුණ 2026 මංගල තරගය
- ගියවර ශූරියන් සහ අනුශූරියන් පරාජය වෙයි
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
ක්රිකට් හරහා ජීවිත රැකගැනීමේ පණිවිඩයක්
ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර බහුලව ම හඳුනා ගන්නා පිළිකාව පියයුරු පිළිකාවයි.
සෑම දිනකම කාන්තාවන් 15 දෙනෙකුට පියයුරු පිළිකාව හඳුනා ගන්නා අතර, දිනකට කාන්තාවන් තිදෙනෙකු මෙම රෝගයෙන් ජීවිතක්ෂයට පත්වෙති.
එහෙත් රෝගය කල් තියා හඳුනා ගැනීමෙන් ජීවිත බේරා ගැනීමේ හැකියාව විශාල ලෙස ඉහළ යයි.
එම නිසාම Touch • Look • Check (TLC) ජාතික ව්‍යාපාරය හරහා කාන්තාවන්ට තමන්ගේ පියයුරු පිළිබඳ අවධානයෙන් සිටීමටත්, වෙනස්කම් හඳුනාගත් විගස වෛද්‍ය උපදෙස් ලබාගැනීමටත් දිරිගැන්වීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.
ජාතික සෞඛ්‍ය ප්‍රයත්නයකට ක්‍රිකට් එක්වෙයි
Indira Cancer Trust, සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික පිළිකා පාලන වැඩසටහන, අපේක්ෂා රෝහල, ශ්‍රී ලංකා පිළිකා වෛද්‍යවරුන්ගේ විද්‍යාලය ඇතුළු ජාතික ආයතන සහ තාක්ෂණික කමිටු සමඟ සමීපව කටයුතු කරමින් පිළිකා වැළැක්වීම, කල්තියා හඳුනාගැනීම, රෝගී සහ පවුල් සහාය සහ සහන සත්කාර ශක්තිමත් කිරීම සඳහා ජාතික මට්ටමින් දායකත්වය ලබාදෙයි.
LPL වේදිකාව ඔස්සේ මෙම ජාතික සෞඛ්‍ය පණිවිඩය ශ්‍රී ලංකාව පුරාත්, ජාත්‍යන්තර ප්‍රේක්ෂකයන් වෙතත් රැගෙන යාම මෙම වැඩසටහනේ විශේෂත්වයයි.
Dambulla Sixers නායක දිනේෂ් චන්දිමාල් මහතා මෙසේ පැවසීය.
“අපි ක්‍රීඩකයන් ලෙස තරග ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් ඊටත් වඩා වැදගත් ජයග්‍රහණ තියෙනවා. පිළිකාව සමඟ සටන් කරන මේ පුංචි වීරයන් හමුවීම අපිට විශාල ආශ්වාදයක්. ක්‍රිකට් අපිට ලැබුණු වේදිකාවක්. ඒ වේදිකාව ජීවිත රැකගැනීමේ පණිවිඩයක් ලබාදෙන්න භාවිතා කරන්න පුළුවන් නම්, ඒ තමයි අපේ ලොකුම ජයග්‍රහණය.”
Dambulla Sixers උපදේශක රොෂාන් මහනාම මහතා මෙසේ පැවසීය.
“ක්‍රිකට් කියන්නේ ක්‍රීඩාවක් විතරක් නෙවෙයි. එය මිනිසුන් එකට එකතු කරන බලයක්. මේ දරුවන්ගේ ධෛර්යය අපි හැමෝටම ආදර්ශයක්. LPL වැනි ජාත්‍යන්තර වේදිකාවක් හරහා කල්තියා හඳුනාගැනීමේ වැදගත්කම සහ පිළිකාවට මුහුණ දෙන පවුල්වලට අපේ සහයෝගය පෙන්වීමට හැකිවීම ගැන අපි ආඩම්බර වෙනවා.”
මාධ්‍යයට විවෘත ආරාධනය
📍 2026 ජූලි 17
Dambulla Sixers කණ්ඩායමේ “සුව අරණ” සංචාරය
🕘 පෙ.ව. 9.00 – 10.30
📍 2026 ජූලි 17
Dambulla Sixers LPL 2026 Rooftop Media Briefing
📍 2026 ජූලි 19
LPL Pink Match
Dambulla Sixers vs Jaffna Kings
SSC ක්‍රීඩාංගණය – කොළඹ
🩷 Pink Match Ceremony – ප.ව. 1.30
🏏 තරගය – ප.ව. 3.00
දෙස්, විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ ව සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















