රන් ගැටුමට මියුරු ශතකයක්

20th Battle of the Golds

7
20th Battle of the Golds

මියුරු බණ්ඩාර ගේ ශතකයකින් හැඩ ගැන් වුණ රන් කුසලාන වාර්ෂික මහා ක්‍රිකට් ගැටුමේ පළමු දිනය අද (8) කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී නිමා වෙද්දී පළමුවෙන් පන්දුවට පහර දුන් ඩී. එස්. සේනානායක විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 195ක් ලබා සිටියා.

>>ඩී. එස්. – මහානාම රන් ගැටුමටත් කඳවුරු සූදානම්

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර 20 වැනි වරටත් පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් මහානාම විද්‍යාලයීය නායකයා පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්ත ද ඔවුන්ට දිනයේ යැවීමට හැකි වෙන්නේ පන්දුවාර 64ක් පමණයි. ඒ පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙනුයි.

මහානාම විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

දුල්නිත් සිගේරා (නායකයා), චාමික හීනටිගල, ඒශාන් විතානගේ (කඩුලු රකින්නා), ගිමන්ත දිසානායක,  වෙනුර කවීත්‍ර, ගීත් සඳරුවන්, සිනෙත් වීරරත්න, සනුල් වීරරත්න, තවිරු පෙරේරා, සිතුම් විහඟ සහ සනුක ගනේපොල.

ඩී. එස්. සේනානායක විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

රන්දීශ බණ්ඩාරනායක (නායක), මියුරු බණ්ඩාර, සිත්රු ගුණරත්න, බිහාන් ගමගේ, ජනිඳු රණසිංහ, ශෙවාන් වෙල්ගම (කඩුලු රකින්නා), හමීඩ් අෆ්ඩාල්, ශනාල් ගමගේ, චනුල් අතලේ, චිතුන් බද්දගේ සහ ඔෂද මනර.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ඉනිම ආරම්භ කරන්නේ මියුරු බණ්ඩාර සහ සිත්රූ ගුණරත්න විසිනුයි. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට ලකුණු 67ක සබඳතාවක් ගොඩ නගනවා.

ඒ අතුරින් පළමුවෙන් ම ඉනිම හැර යන්නේ සිත්රූ ගුණරත්න. ඔහු දැවී යන විට පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 26ක් ලබා සිටියා. ඉන් අනතුරු ව පිටියට එක් වූයේ බිහාන් ගමගේ.

ඔහු පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 14ක් ලබා සිටිය දී දැවී යන අතර ඒ වෙද්දී ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ලකුණු පුවරුව 122ක් ව තිබුණා. ඔහු දැවී යන විට මියුරු බණ්ඩාර හා එක් ව 2 වැනි කඩුල්ලට ලකුණු 55ක සබඳතාවක් ද එක් කර තිබුණා.

ඉන් අනතුරු ව ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ඉනිමේ දිනයේ වැඩිම ලකුණුලාභියා වූ මියුරු බණ්ඩාර දැවී යනවා. ඔහු දැවී යන පන්දු 156කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 100ක් ලබා සිටියා. ඒ සමඟින් ඔහු ජනිඳු රණසිංහ හා එක් ව 3 වැනි කඩුල්ලට ලකුණු 48ක සබඳතාවක් ද ගොඩ නගනවා.

දිනයේ දැවී ගිය අවසන් පිතිකරු බවට පත් වෙන්නේ ජනිඳු රණසිංහ. ඔහු දැවී යන විට පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 24ක් ලබා සිටියා.

පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිනයේ තවත් පන්දුවාර 26ක් යැවීමට ඉතිරි ව තිබිය දී තරගය නතර කරද්දී ශෙවාන් වෙල්ගම පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 13ක් ද සහ හමිඩ් අෆ්ඩාල් පන්දු 4කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 4ක් ද ලබා ගනිමින් නොදැවී පිටියේ රැඳී සිටියා.

ඩී. එස්. සේනානායක විද්‍යාලය පාලනය කිරීම සඳහා මහානාම විද්‍යාලයීය නායකයා පන්දු යවන්නෝ 8 දෙනෙක් යොදා ගත් අතර ඒ අතුරින් වමතින් පා දඟ පන්දු යැවූ චාමික හීනටිගල ලකුණු 43කට කඩුලු 2ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා.

ඊට අමතර ව සනුක ගනේපොල සහ දුල්නිත් සිගේරා කඩුල්ල බැගින් දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ඩී. එස්. සේනානායක විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 195 (64.0) මියුරු බණ්ඩාර 100, සිත්රු ගුණරත්න 26, චාමික හීනටිගල 2/43

මෙම තරගය හෙට (9) 2 වැනි දිනයටත් පැවැත්වීමට නියමිතයි.

රන් සටන වාර්ෂික තුන් දින ක්‍රිකට් තරගයේ සජීවී දසුන් Dialog Television හී ThePapare TV 1 නාලිකා අංක 62 සුසර කර ගැනීමෙන් මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<