පාසල් රග්බි පිටියට උණුසුම් ආරම්භයක්!

Dialog Schools Rugby Knockout 2026

7

2026 පාසල් පිටියට උණුසුම් ආරම්භයක් ලබා දෙමින්, Dialog  2026 පිළිමළුන් පිටු දැකීමේ පාසල් රග්බි තරගාවලිය පසුගිය සතියේ දී ආරම්භ වුනා. 

ගෙවුණු සති අන්තයේ දී පාසල් 16ක්, තරග 08ක් වෙනුවෙන් ක්‍රීඩා බිමට පිවිසි අතර, මෙම තරග සියල්ල පූර්ව අර්ධ අවසන් පූර්ව තරග ලෙසයි ක්‍රියාත්මක වුනේමෙම තරගවලින් ජය ගන්නා කණ්ඩායම් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නියමිත වුනා. 

ත්‍රිත්ව විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය  

ත්‍රිත්ව විද්‍යාලය වත්මන් ලීග් ශූරයින් ලෙස තරග බිමට අවතීර්ණ වූ අතර, ඔවුන් හමුවේ තර්ස්ටන් විද්‍යාලයට පරාජය උරුම කර ගැනීමට මෙහි දී සිදු වුනා. 

තරගයේ පළමු අර්ධය තුළ ම ත්‍රිත්ව ක්‍රීඩකයින් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් වුනේ උත්සාහක දිනුම් 06ක් සමඟ ලකුණු 38ක් ලබා ගනිමිනුයිඑම අර්ධයේ දී තර්ස්ටන් ක්‍රීඩකයින් ලකුණු ලබා ගැනීමට සමත් නොවූ අතර, දෙවැනි අර්ධයේ දී ඔවුන් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 08ක් පමණයි. කෙසේ වෙතත් දෙවැනි අර්ධය තුළ ත්‍රිත්ව ක්‍රීඩකයින් ලකුණු ලැබීමට සමත් නොවීම විශේෂත්වයක්. 

  • ත්‍රිත්ව විද්‍යාලය 38 (6T, 4C) – තර්ස්ටන් විද්‍යාලය 08 (1T, 1P) 

තරගයේ වීරයා – නිසිත් කුමාරසිංහ (ත්‍රිත්ව විද්‍යාලය) 

සාන්ත පීතර විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය  

මෙම තරගයේ පළමු අර්ධයේ පෙරමුණ ලැබීමට සාන්ත පීතර විද්‍යාලය සමත් වූ අතර, ඔවුන් පළමු අර්ධය තුළ ලකුණු 19ක් ලබාගනිද්දී, ආනන්ද විද්‍යාලය විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 03ක් පමණයි. 

තරගයේ දෙවැනි අර්ධය තුළ ද සාන්ත පීතර විද්‍යාලය සිය ආධිපත්‍යය පතුරවාලීමට සමත් වුනේ තවත් ලකුණු 26ක් වාර්තා කරමිනුයිඒ අනුව සාන්ත පීතර ක්‍රීඩකයින් තරගය තුළ උත්සාහක දිනුම් 07ක් වාර්තා කිරීමට සමත් වුනා. 

කෙසේ වෙතත් මෙම අර්ධය තුළ ආනන්ද විද්‍යාලය එකදු ලකුණක් හෝ ලැබීමට සමත් වුනේ නැහැ. 

  • සාන්ත පීතර විද්‍යාලය 45 (7T, 5C) – ආනන්ද විද්‍යාලය 3 (1P) 

තරගයේ වීරයා – නෙත්ශාන් මෙන්තුශ (සාන්ත පීතර විද්‍යාලය) 

වෙස්ලි විද්‍යාලය සහ මහානාම විද්‍යාලය 

ගෙවුණු සතියේ ක්‍රියාත්මක වූ තරග අතුරින් ඉහළ ලකුණු වාර්තා වූ තරගයක් ලෙසයි මෙය හැඳින්විය හැක්කේ. 

මෙම තරගයේ පළමු අර්ධයේ සිටම වෙස්ලි ක්‍රීඩකයින් ඉතා පහසුවෙන් ලකුණු ලබා ගැනීමට සමත් වූ අතර, පළමු අර්ධය තුළ ඔවුන් උත්සාහක දිනුම් 06ක් සමඟ ලකුණු 42ක් ලබා ගන්නා අතරේ, මහානාම විද්‍යාලය ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 03ක් පමණයි. 

දෙවැනි අර්ධය තුළ මහානාම විද්‍යාලය එකදු ලකුණක් හෝ ලැබීමට සමත් නොවූ අතර, මෙම කාලය තුළ වෙස්ලි ක්‍රීඩකයින් තවත් උත්සාහක දිනුම් 05ක් සමඟ ලකුණු 35ක් ලබා ගනිමින් දැවැන්ත ජයක් වාර්තා කිරීමට සමත් වුනා. 

  • වෙස්ලි විද්‍යාලය 77 (11T, 11C) – මහානාම විද්‍යාලය 03 (1P) 

තරගයේ වීරයා – අබ්දුල් රහ්මාන් (වෙස්ලි විද්‍යාලය) 

ඉසිපතන විද්‍යාලය සහ විද්‍යා විද්‍යාලය 

වත්මන් පිළිමළුන් පිටු දැකීමේ ශූරයින් ලෙස ඉසිපතන විද්‍යාලය මෙම තරගයට අවතීර්ණ වූ අතර, ඔවුන් තරගය පුරාවට සිය ගෞරවය රැක ගැනීමට ද සමත් වුනා. 

තරගයේ පළමු අර්ධය තුළ ඉසිපතන ක්‍රීඩකයින් ලකුණු 19ක් ලබාගන්නා අතරේ, විද්‍යා විද්‍යාලය ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 03ක් පමණයි. 

තරගයේ දෙවැනි අර්ධය තුළ ඉසිපතන ක්‍රීඩකයින් සමස්ත උත්සහාක දිනුම් 07ක් සමඟ ලකුණු 41ක් සම්පූර්ණ කර ගැනීමට සමත් වූ අතර, එම කාලය තුළ විද්‍යා ක්‍රීඩකයින් ලබාගැනීමට සමත් වී සිටියේ ලකුණු 08ක් පමණයි. 

  • ඉසිපතන විද්‍යාලය 41 (7T, 3C) – විද්‍යා විද්‍යාලය 08 (1T, 1P) 

තරගයේ වීරයා – නිමන්ත සන්දීප (ඉසිපතන විද්‍යාලය) 

සාන්ත ජෝසප් විද්‍යාලය සහ කිංග්ස්වුඩ් විද්‍යාලය  

මෙම තරගයේ පළමු අර්ධය තුළ කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් විසින් තරගයේ වාසිය තමන් වෙතට හරවා ගැනීමට සමත් වුනේ ලකුණු 17ක් වාර්තා කරමිනුයි. 

කෙසේ වෙතත් එම කාල සීමාව තුළ සාන්ත ජෝසප් ක්‍රීඩකයින් එකදු ලකුණක් හෝ ලබා ගැනීමට සමත් වුනේ නැහැ. 

නමුත් තරගයේ දෙවැනි අර්ධය තුළ සියලු සිදුවීම් කණපිට හැරවීමට සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට හැකියාව ලැබුණා. එම අර්ධය තුළ කිංග්ස්වුඩ් ක්‍රීඩකයින්ට එකදු ලකුණක් හෝ ලැබීමට ඉඩ නොතැබූ ජෝසප් ක්‍රීඩකයින් විසින් උත්සාහක දිනුම් තුනක් ද සමඟ ලකුණු 20ක් ලබා ගැනීමට සමත් වුනේතරගයෙන් විශිෂ්ට ජයක් ද වාර්තා කරමිනුයි. 

  • සාන්ත ජෝසප් විද්‍යාලය 20 (3T, 1C, 1P) – කිංග්ස්වුඩ් විද්‍යාලය 17 (2T, 2C, 1P) 

තරගයේ වීරයා – බ්‍රයන් ප්‍රනාන්දු (සාන්ත ජෝසප් විද්‍යාලය) 

ඩී.එස්.සේනානායක විද්‍යාලය සහ සහිරා විද්‍යාලය 

මෙම තරගයේ පළමු අර්ධයේ දී පෙරමුණ ලබා ගැනීමට සහිරා ක්‍රීඩකයින් විසින් සමත් වුනේ ලකුණු 24ක් ලබා ගනිමිනුයිඑම කාලසීමාව තුළ ඩී.එස්ක්‍රීඩකයින් විසින් ලැබීමට සමත් වුනේ ලකුණු 07ක් පමණයි.  

කෙසේ වෙතත් ඩී.එස්ක්‍රීඩකයින් තරගයේ දෙවැනි අර්ධය තුළ නැවත තරගයට අවතීර්ණ වෙමින් ජයග්‍රහණයක් හඹා යාම සඳහා විශාල වෙහෙසක් දරන බව පෙනෙන්නට තිබුණා. එම කාලය තුළ ඔවුන් සහිරා ක්‍රීඩකයින්ට ලබා ගැනීමට ඉඩ දුන්නේ ලකුණු 03ක් පමණක් වන අතර, එමෙන්ම එම කාලය තුළ ඔවුන් ලකුණු 10ක් ලබා ගැනීමට ද සමත් වුනා. නමුත් ඩී.එස්ක්‍රීඩකයින්ට ජයග්‍රහණයක් කරා යාමට තරම් එය ප්‍රමාණවත් වුනේ නැහැ. 

  • සහිරා විද්‍යාලය 27 (4T, 2C, 1P) – ඩී.එස්.සේනානායක විද්‍යාලය 17 (3T, 1C) 

සාන්ත තෝමස් විද්‍යාලය සහ ශ්‍රී සුමංගල විද්‍යාලය 

මෙම සති අන්තයේ ක්‍රියාත්මක වූ තවත් උණුසුම් තරගයක් වූ මෙහි පළමු අර්ධය තුළ දෙපිළම කරට කර සටනක නිරත වූ අතර, එහි දී සාන්ත තෝමසුවන්ට තියුණු අභියෝගයක් එල්ල කළ ශ්‍රී සුමංගල විද්‍යාලය ලකුණු 17ක් ලබා ගනිද්දී, තෝමසුවන් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 12ක් පමණයි. 

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ සාන්ත තෝමස් ක්‍රීඩකයින් පෙරට වඩා හොඳින් තරගයට අවතීර්ණ වෙමින් තවත් ලකුණු 19ක් ලබා ගැනීමට සමත් වූ අතර, මෙම කාල සීමාව තුළ ශ්‍රී සුමංගල ක්‍රීඩකයින් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 07ක් පමණයි. 

මේ අනුව සාන්ත තෝමසුවන් විසින් නොතිබූ ජයක් තමන් වෙත ළඟා කර ගනිමින් තරගාවලියේ ඉදිරි වටයට වෙත සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා. 

  • සාන්ත තෝමස් විද්‍යාලය 31 (5T, 3C) – ශ්‍රී සුමංගල විද්‍යාලය 24 (4T, 2C) 

තරගයේ වීරයා – තියේශ්‍ය අලුවිහාරේ (සාන්ත තෝමස් විද්‍යාලය) 

රාජකීය විද්‍යාලය සහ සාන්ත අන්තොනි විද්‍යාලය  

මෙම තරගයෙන් රාජකීයයන් පහසු ජයක් ලැබීමට සමත් වුනා. තරගයේ පළමු අර්ධය තුළ රාජකීය ක්‍රීඩකයින් උත්සාහක දිනුම් 2ක් ද සමඟ ලකුණු 20ක් ලබා ගනිද්දී, සාන්ත අන්තොනි ක්‍රීඩකයින් ලැබීමට සමත් වුනේ ලකුණු 10ක් පමණයි. 

තරගයේ දෙවැනි අර්ධය තුළ සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 03ක් පමණයි. නමුත් මෙම කාල සීමාව තුළ රාජකීය ක්‍රීඩකයින් විසින් ලකුණු 13ක් ලබමින් තරගයෙ පහසු ජයක් හිමි කර ගැනීමට සමත් වුනා. 

  • රාජකීය විද්‍යාලය 34 (4T, 4C, 2P) – සාන්ත අන්තොනි විද්‍යාලය 13 (1T, 1C, 2P) 

තරගයේ වීරයා – සෙනුජ රණසිංහ (රාජකීය විද්‍යාලය) 

මේ අනුව දේශීය පාසල් රග්බි පිටියේ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් කණ්ඩායම් 08 තෝරා පත් වී අවසන් වුනාමින් අනතුරුව තරගාවලියේ අර්ධ අවසන් පූර්ව, අවසන් පූර්ව සහ අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතයි. එම තරග විස්තර ද ඇතුළුව දේශීය රග්බි පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<