පාපන්දු ලෝක කුසලානයේ ආරම්භක දිනය වෙනස් වෙයි

FIFA පාපන්දු ලෝක කුසලානය 2022

446

2022 කටාර් ලෝක කුසලාන පාපන්දු තරගාවලිය මුලින් සැලසුම් කර තිබූ තරග සටහනට දිනයකට කලින් ආරම්භ කිරීමට ජගත් පාපන්දු සම්මේලනයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, මෙම තරගාවලියේ සත්කාරක රට වන කටාර් රාජ්‍යයට ඔවුන්ගේ ඉක්වදෝරය සමඟ වන තරගය ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගය බවට පත් කිරීමට අවස්ථාව ලබා දෙමින්.

උතුරු අර්ධ ගෝලයේ දී ප්‍රථම වතාවට පවත්වනු ලබන මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නොවැම්බර් 21 වැනිදා ආරම්භ කිරීමට කලින් සැලසුම් කර තිබුණේ සෙනෙගාලය සහ නෙදර්ලන්තය අතර දෝහා නුවර පැවැත්වීමට නියම කරගෙන තිබූ තරගයෙන්.

එහෙත් ජගත් පාපන්දු සම්මේලනයේ ඒකමතික තීරණයක් අනුව මේ තරගාවලිය කටාර් හා ඉක්වදෝරය අතර ගැටුමෙන් නොවැම්බර් 20 වැනිදා ආරම්භ වනු ඇත්තේ 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට නව සමාරම්භක දිනයක් ලබා දෙමින්.

කටාර් කණ්ඩායම ඉක්වදෝරය සමඟ තරග කිරීමට මුලින් නියමිතව තිබුණේ නොවැම්බර් 21 වැනි සඳුදා දිනයේ තෙවැනි තරගය ලෙසින්. ඒ, සෙනෙගාලය හා නෙදර්ලන්තය අතර ගැටුම සහ එංගලන්තය හා ඉරානය අතර තරගයෙන් පසුවයි.

නව සැලැස්මට අනුව සෙනෙගාලය හා නෙදර්ලන්තය අතර‍ තරගය පැවැත්වීම නොවැම්බර් 21 වැනි දිනයේ ම පස්වරුවේ සිට සැඳෑ සමය දක්වා වෙනස් කර තිබෙනවා.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියක සමාරම්භක තරගයකට එම තරගාවලියේ සත්කාරක රට හෝ කලින් තරගාවලියේ ශූරයින් සහභාගි වීම දීර්ඝ කාලයක් තිස්සේ පැවත එන සම්ප්‍රදායක්.

කටාර් නමැති ගල්ෆ් දේශයට ඔවුන්ගේ පළමු ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ලබා දීමේ තීරණය අනුමත වීමෙන් දොළොස් වසරකට පසුව කටාර් රාජ්‍යය මේ ආරම්භක දිනයේ වෙනස ඉල්ලා තිබෙන්නේ විචිත්‍රවත් ගිනිකෙළි සංදර්ශනයක් පැවැත්වීමට කටාර් එමීර්වරයාට අවශ්‍යව තිබෙන නිසා බව වාර්තා වෙනවා.

තරගාවලිය ආරම්භයට දින 100ක් තිබිය දී කටාර් සංවිධායකයින් විසින් කරනු ලැබූ මේ ඉල්ලීම මගින් තරගාවලියේ සමාරම්භය වර්ණවත් කිරීමට අවස්ථාව උදා වනු ඇති අතර මේ අනුව කටාර් රාජ්‍ය කණ්ඩායම දැන් ඉක්වදෝර් කණ්ඩායම සමඟ නොවැම්බර් 20 වැනි ඉරු දින රාත්‍රි 7.00ට ක්‍රීඩා කරනු ඇත්තේ ඔවුන්ගේ දේශීය මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩාලෝලීන්ට ද ලැබෙන වඩාත් දර්ශනීය උත්සව සිරි ගත් පරිසරයක් මධ්‍යයේ වීම විශේෂත්වයක්.

පවුම් මිලියන 650ක වියදමින් අලුතින් ඉදි කරන ලද ආසන 60,000කින් සමන්විත අල් බේට් ක්‍රීඩාංගණයෙන් 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ කිරීමට එම තරගාවලියේ සත්කාරක රට වන කටාරය නොඉවසිල්ලෙන් බලා සිටින්නේ ඉමහත් උද්යෝගයකින් යුතුවය.

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය කටාර් රාජ්‍යයේ ක්‍රීඩාංගණ අටක දී පැවැත්වීමට නියමිතයි. තරගාවලිය සඳහා පළමුවෙන් ම සූදානම් කෙරුණේ දෝහා අගනුවර කලීෆා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයයි. නරඹන්නන් 40,000ක් රඳවා ගත හැකි මේ ක්‍රීඩාංගණයේ දී තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා වන තරගය ඇතුළුව එම තරගය දක්වා වන අනෙක් තරග කිහිපයක් ද පැවැත්වීමට නියමිතයි.

වක්රා නගරයේ පිහිටි 40,000කට තරග නැරඹිය හැකි අල් ජනාබ් ක්‍රීඩාංගණය ‘කටාර් 2022‘ තරගාවලිය වෙනුවෙන් මුල සිට ඉදි කෙරුණු ක්‍රීඩාංගණයයි. ‘කණ්ඩායම් 16‘ වටය ඇතුළුව ඒ දක්වා වන තරග මෙහි පැවැත්වෙනු ඇත.

අධ්‍යාපන නගරයේ පිහිටි 40,000ක නරඹන්නන් සඳහා වන Education City ක්‍රීඩාංගණය 2020 ජුනි මාසයේ දී විවෘත කරනු ලැබුවේ කොරෝනා වසංගත කාලයේ දී පෙරමුණේ ම සිට රාජකාරි කළ සෞඛ්‍ය සේවකයින්ට පිදුණු උපහාරයක් ලෙසයි. තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය ද ඇතුළුව ඒ දක්වා වන තරග සඳහා මේ ක්‍රීඩාංගණය සත්කාරය දක්වනු ඇත.

60,.0000 නරඹන්නන් රඳවා ගත හැකි අල් කෝ නුවර අල් බේට් ක්‍රීඩාංගණයේ දී තරගාවලියේ අවසන් පූර්ව වටය ද ඇතුළුව ඒ දක්වා වන තරග පැවැත්වීමට නියමිතව තිබෙනවා. ලෝක කුසලාන තරගාවලියෙන් පසුව මේ ක්‍රීඩාංගණයේ පුටු 28,000ක් පමණ සංවර්ධනය වෙමින් පවතින රටවලට පරිත්‍යාග කරන බවට සංවිධායකයින් පවසා තිබෙනවා.

40,000කට සිටිය හැකි අල් රෙයාන් ප්‍රදේශයේ පිහිටි අල් රෙයාන් ක්‍රීඩාංගණය 2020 වසරේ දෙසැම්බර් 18 වැනි දින ආරම්භ කර තිබෙන්නේ 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන මහා තරගය දක්වා ඇති වසර දෙකක කාලය සංකේතවත් කිරීම පිණිසයි. මෙවර තරගාවලියේ ‘කණ්ඩායම් 16‘ වටයේ තරග ද ඇතුළුව ඒ දක්වා පැවැත්වෙන තරග මේ ස්ථානයේ දී ක්‍රීඩා කිරීමට නියමිතයි.

දෝහා නගරයේ පිහිටි 40,000ක සෙනඟක් පිරවිය හැකි අල් තුමාමා ක්‍රීඩාංගණය ‘2022 කටාර්‘ අර්ධ අවසන් පූර්ව වටයේ තරග ද ඇතුළුව ඒ දක්වා ක්‍රීඩා කෙරෙන තරග සඳහා සත්කාරකත්වය දරනු ඇත.

40,000ක පුද්ගල ධාරිතාවක් ඇති දෝහා අගනුවර තිබෙන රාස් අබු අබූඩ් ක්‍රීඩාංගණය ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ පළමු වැනි සම්පූර්ණයෙන් කොටස් ගැලවිය හැකි ක්‍රීඩාංගණයයි. ‘කණ්ඩායම් 16‘ වටයේ තරග ද ඇතුළුව ඒ දක්වා වන තරග පැවැත්වීමට නියමිත මේ ක්‍රීඩාංගණයේ සැකිල්ල ඉදි කරනු ලබන්නේ වෙනස් කරන ලද නැව් කන්ටේනර භාවිතා කරමිනි.

ලිසේල් නුවර ඉදිකර තිබෙන ලිසේල් ක්‍රීඩාංගණයේ 80,000කට තරග නැරඹිය හැක. 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ විශාලතම ක්‍රීඩාංගණය මෙයයි. අවසාන මහා තරගය ඇතුළුව ඒ දක්වා වන තරගාවලියේ සෑම මට්ටමක ම තරග ද මෙහි පැවැත්වෙනු ඇත.

නොවැම්බර් 20 සිට දෙසැම්බර් 18 දක්වා කටාර් දේශයේ පැවැත්වෙන මැද පෙරදිග ප්‍රථම ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කණ්ඩායම්වලින් හතරෙන් තුනක් එකිනෙකාට කිලෝමීටර 10කට (සැතපුම් හයක්) විහිදෙන අර්ධ විෂ්කම්භයක දුර ප්‍රමාණයක් ඇතුළත ස්ථානගත කෙරෙනු ඇතැයි කණ්ඩායම් 32 සඳහා වන හෝටල සහ පුහුණු වීමේ ස්ථාන නිවේදනය කරමින් ජගත් පාපන්දු සම්මේලනය ප්‍රකාශ කර තිබෙනවා.

මීට පෙර පවත්වා තිබෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලි මෙන් නොව මේ තරගාවලියේ දී සෑම කණ්ඩායමක් ම එක ම හෝටලයේ නවාතැන් ගනිමින් එක ම පුහුණුවීමේ ස්ථානය තරගාවලිය පුරාවට ම පාවිච්චි කරනු ඇත.

මෙමගින් ක්‍රීඩකයන්ට තරගාවලිය අතරතුර පුහුණු වීමට සහ විවේක ගැනීමට වැඩි කාලයක් ලැබෙනු ඇත. මීට අමතරව ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නිසා රට වෙළා ගනු ලබන ප්‍රබෝධය එයට සමීපයේ ම සිට අත්විඳීමට ද මෙමගින් ඔවුන්ට අවස්ථාව ලැබෙනු ඇත්තේ රටවල් තිස් දෙකේ ම තමන්ගේ ක්‍රීඩා සගයන් හා අතිශය උද්යෝගීමත් ක්‍රීඩාලෝලීන් එක ම පෙදෙසක එක්රැස් වන නිසාවෙනි.

ක්‍රීඩකයින් සඳහා වන නවාතැන් පහසුකම් තරු හතර සහ තරු පහේ හෝටලවල සිට සංචාරක නිවාස, නිවාඩු නිකේතන සහ ක්‍රීඩා ඇකඩමි නිවාස හා පාසල්, සරසවි නිවාස ඇතුළුව හෝටල් නොවන නවාතැන් පහසුකම් දක්වා විවිධ මට්ටමින් සැපයෙනු ඇත.

අනෙකුත් ලෝක කුසලාන පාපන්දු ව්‍යාපෘති මෙන් ම ‘2022 කටාර්‘ තරගාවලියේ ද උරුමය සැලසුම් කිරීම ප්‍රධාන සාධකයක් වී තිබෙනවා. ඒ අනුව ප්‍රතිසංස්කරණය කර ඉදි කරනු ලැබූ පුහුණු සංකීර්ණ බොහොමයක් ලෝක කුසලාන තරගාවලිය අවසන් වී බොහෝ කලක් යනතුරුත් දේශීය ක්‍රීඩා සමාජ හා ප්‍රජාවගේ ප්‍රයෝජනයට විවෘත වනු ඇත. අලුතින් ඉදිවන හෝටල් කටාර් රාජ්‍යයේ වැඩි වෙමින් තිබෙන සංචාරක ව්‍යාපාරයට මහත් රුකුලක් වනු ඇත.

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා මිලියනයකට වැඩි පාපන්දු ක්‍රීඩාලෝලීන් කටාර් දේශයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<