ශූරතාවයේ බලාපොරොත්තු සමඟින් Blues ජයග්‍රාහී මාවතට

197

Investec Super Rugby Aotearoa තරගාවලියේ තවත් තරගයක් අද (26) ඕක්ලන්ඩ් හි ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගණයේ දී පැවැත්වූයේ Blues හා Chiefs කණ්ඩායම් අතරයි. එම තරගයේ දී ලකුණු 21–17ක් ලෙස ජයග්‍රහණය කිරීමට Blues සමත් විය.

පසුගිය සති කීපය තුල Blues කණ්ඩායම තම සුපුරුදු රිද්මයෙන් තරමක් ඈත්වී සිටි අතර පිට පිට තරග කීපයක් පරාජය වීමට ඔවුන්ට සිදු විය. කෙසේ වෙතත් අද පැවති තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ශූරතාවය සඳහා තරමක බලාපොරොත්තු තබා ගැනීමට Blues කණ්ඩායමට අවස්ථාව හිමි විය. 

Crusaders ආධිපත්‍යය බිඳ වැටෙයි; Hurricanes ඉතිහාසය අළුත් කරයි!

මෙම තරගයේ දී නවසීලන්ත ක්‍රීඩක Beauden Barrett තම සුපුරුදු අංක 15 ස්ථානයෙන් අංක 10 ස්ථානයට පැමිණියේය. ඒ මෙතෙක් Blues කණ්ඩායමේ අංක 10 ක්‍රීඩකයා වූ Otere Black ආබාධයකට ලක්වීම නිසාවෙනි.

තරගය ආරම්භ කිරීමේ වගකීම Beauden Barrett විසින් දැරූ අතර මුල් මිනිත්තු කීපය තුලදීම තම සුපුරුදු වේග රිද්මයට අවතීර්ණ වීමට Blues සමත් විය. එහි ප්‍රතිඵලය වූයේ තරගයේ හයවැනි මිනිත්තුවේ දී Matt Duffie උත්සාහක දිනුමක් වාර්තා කිරීමයි. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට Beauden Barrett සමත් විය. (Blues 07 – 00 Chiefs)

තරගයේ 14 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ Blues නායක Tuipulotu කණ්ඩායම වෙනුවෙන් දෙවැනි උත්සාහක දිනුම වාර්තා කළේය. අතිරේක ලකුණු එක් කිරීමේ වගකීම එව‍රත් ඉටු කරන්නට Beauden Barrett සමත් විය. (Blues 14 – 00 Chiefs)

Blues කණ්ඩායමේ ඉක්මන් ප්‍රහාරයට සාර්ථකව ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට Chiefs ප්‍රබල උත්සාහයක් දැරීය. Blues කණ්ඩායමේ offside අවස්ථාවක් උපයෝගී කරගනිමින් පන්දුව සීමා ඉර ආසන්නයට ගෙන ගිය Chiefs කණ්ඩායම පන්දුව සාර්ථකව සීමා ඉර පසුකර පතිත කිරීමට සමත්වූයේ Lachlan Boshierගේ දක්ශතාවය නිසාවෙනි. අතිරේක ලකුණු එක් කිරීම සාර්ථක කර ගැනීමට Damian McKenzieට හැකි විය. (Blues 14 – 07 Chiefs)

පළමු අර්ධය: Blues 14 (2T, 2C) – 07 (1T, 1C) Chiefs

තරගයේ 46 වැනි මිනිත්තුවේ දී තම අර්ධයේ පැවති scrum අවස්ථාවකින් පන්දුව ලබා ගත් Brad Weber එය Aaron Cruden වෙත යොමු කළේය. Cruden හා Lienert Brown එක්ව Blues ඉදිරිපෙළ අභිබවා යාමට සමත් වූ අතර Solomon Alaimalo එය සාර්ථකව සීමා ඉර පසුකර පතිත කළේය. තීරණාත්මක ප්‍රවර්තනයක් සාර්ථක කර ගැනීමට McKenzie සමත් විය. (Blues 14 – 14 Chiefs)

Blues නිලංකාර කරමින් Hurricanes වෙලිංටන් පිටිය කළඹයි

තරගයේ පළමු වතාවට පෙරමුණ ගැනීමට Chiefs කණ්ඩායම සමත්වූයේ තරගයේ 51 වැනි මිනිත්තුවේ දී ය. ඒ McKenzie සාර්ථක කර ගත් දඬුවම් පහරත් සමඟිනි.  (Blues 14 – 17 Chiefs)

පිට පිට වාර්තා කළ උත්සාහ දිනුම්වලට සාර්ථක ප්‍රතිචාරයක් ලබා දීමට Blues කණ්ඩායම සමත්වූයේ 55 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් වාර්තා කරමිනි. එය Finlay Christie විසින් වාර්තා කළේය. Beauden Barrett ප්‍රවර්තනයේ ලකුණු රැස් කළේය. (Blues 21 – 17 Chiefs)

මෙම ජයග්‍රහණය Aotearoa තරගාවලියේ Blues කණ්ඩායම වාර්තා කළ සිව්වැනි ජයග්‍රහණය ලෙස සටහන් විය. එම ජයග්‍රහණයත් සමඟින් ඔවුන් ලකුණු සටහනේ දෙවන ස්ථානයට පත්විය. Chiefs කණ්ඩායම මෙම Aotearoa තරගාවලියේ දී සහභාගී වූ තරග 6 ම පරාජය වෙමින් ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්ව ඇත. 

අවසන් ලකුණු තත්ත්වය: Blues 21 (3T, 3C) – 17 (2T, 2C, 1P) Chiefs

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

  • Blues: Matt Duffie (1T), Patrick Tuipulotu (1T), Finlay Christie (1T), Beauden Barrett (3C)
  • Chiefs: Lachlan Boshier (1T), Solomon Alaimalo (1T), Damian McKenzie (2C, 1P)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<