ICCයට වඩා බලගතු FIFA ඉන්දියාවට දාපු සත්තම

10007

ඉන්දියාවේ ප්‍රධාන පාපන්දු බලධරයා වන All India Football Federation (AIFF) වෙත ලෝක පාපන්දු බලවතා වන Federation Internationale de Football Association (FIFA) විසින් ලබා දුන් තහනම ලෝක ක්‍රීඩාවේ බල තුලනය ගැන වැදගත් පණිවුඩයක් කියා දෙයි.

ගෝලීය බල තුලනය හා ක්‍රීඩාව

වත්මන් ක්‍රිකට් ක්‍රීඩාවේ ආධිපත්‍යය පැහැදිලිවම උසුලන්නේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (International Cricket Council – ICC) නොව, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) යැයි කිවහොත් එය අසත්‍යයක් නොවේ.

එහෙත් පාපන්දු සම්බන්ධව ඉන්දියාව තවමත් සුහුඹුලෙකි. ජාත්‍යන්තර ක්‍රීඩකයන් ද සහභාගී කරවාගනිමින් ඔවුන් විසින් Indian Super League (ISL) තරගාවලිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළත්, පාපන්දු බලය සම්බන්ධව ඔවුන් විසින් කළ යුතු තවත් බොහෝ දෑ තිබේ.

තෙවැනි පාර්ශව විසින් කෙරෙන ලදැයි පැවසෙන අනවශ්‍ය මැදිහත් වීම් නිසා ඉන්දියානු පාපන්දු තහනමකට යටත් කොට ඇත. ඒත් සමඟින් මේ වසරේ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ 17න් පහළ කාන්තා ලෝක කුසලාන තරගාවලිය ද ඉන්දියාවට අහිමි විය. එය පැවැත්වීමට නියමිතව තිබුණේ ඔක්තෝබර් 11 සිට 30 වැනිදා දක්වා යි.

FIFA විසින් ලබා දුන් වාර්තාවේ සඳහන් වන්නේ ඔවුන් ඉන්දියානු ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශය සමඟින් සමීපව කටයුතු කරන බවයි. ඇතැම් විට ලබා දුන් තහනම කෙටිකාලීන එකක් වීමට ඉඩ ඇත. එහෙත් වර්තමාන කලාපීය දේශපාලන අර්බුද රැසකට වගකිවයුත්තා වන ඉන්දියාවට ජාත්‍යන්තරව ලැබුණු අතුල් පහර, ගෝලීය දේශපාලනයේ ද පැතිකඩක් විවර කරන්නකි.

- walksofitaly.com
ග්ලැඩියේටර් සටනක් නරඹන රාජ රාජ අමත්‍යාදීන්

ක්‍රීඩාව අතීතයේ සිටම දේශපාලනික ය. ග්ලැඩියේටර්වරුන්ගේ ප්‍රසිද්ධ සටන් වල සිට ඔලිම්පික් උළෙලේ නිර්මාණය දක්වාත් ඉන් පසුවත් එය ලෝක ප්‍රජාව මනෝමය වශයෙන් පාලනය කරන මෙවලමකි. ඇතැම් විට කළු මුදල් විශුද්ධීකරණය කෙරෙන පහසු මාවතකි.

එංගලන්තය, ස්පාඤ්ඤය, ජර්මනිය, ප්‍රංශය විසින් පාපන්දු බලය අත්පත් කරගැනීමත්, ඇමරිකා එක්සත් ජනපදය විසින් පැසිපන්දු, බේස්බෝල් ආදී ක්‍රීඩාවල බලය අත්පත් කරගැනීමත් එහි අතීත කතාවයි.

ලොව පුරා පැවැත්වෙන වරලත් ක්‍රිකට් තරග නිසා ජාත්‍යන්තර ක්‍රිකට් අභාවයට යෑම සහ ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනය ඉන්දියාව විසින් සොරාගැනීම පිටුපස ද එම දේශපාලනික කතාන්දරය සැඟව ඇත.

මේ වන විට ලොව සෑමදෙසින්ම වරලත් ක්‍රිකට් සහ ජාත්‍යන්තර ක්‍රිකට් අතර සමීකරණයේ අඩුපාඩු ගැන කතාබහ වෙමින් තිබේ. ඊට මූලික හේතුව ඉන්දියානු ධන කුවේරයන්ගේ මුදල් ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණීමත්, බුකිකරුවන් විසින් ක්‍රිකට් ක්‍රීඩාවේ සැලකිය යුතු කොටසක් (ඇතැම් විට විශාල කොටසක්) පාලනය කිරීමත්, දුර්වල රටවල් වල ක්‍රිකට් පාලනාධිකාරයන් ඉන්දියානු මුදල් ඉදිරියේ අසරණ වීමත් ය.

මේ වන විට IPL වරලත් කණ්ඩායම් වල හිමිකරුවන් විසින් ලොව අනෙකුත් රටවල් වල වරලත් කණ්ඩායම් මිලට ගැනීම ඇරඹි තිබේ. එය කිසිසේත්ම ආරක්‍ෂිත නැත. බලය එක් තැනකට කේන්ද්‍රගත වන ඕනෑම ක්ෂේත්‍රයක් කඩාවැටීමට ලක්වීම ගැන ඔප්පු කරන්නට ශ්‍රී ලංකාව තුළ ඕනෑ තරම් උදාහරණ ඇත.

පාපන්දු ක්‍රීඩාවේ බලය

thedailyguardian
ස්විට්සර්ලන්තයේ සුරිච්හි පිහිටි FIFA මූලස්ථානය

පාපන්දු ක්‍රීඩාවේ බලය තවදුරටත් පවතින්නේ යුරෝපය ප්‍රමුඛ කලාපයේ ය. ඊට හිස ඔබාගැනීම ඉන්දියාවට අපහසු වී ඇත. එහෙත් ක්‍රිකට් ක්‍රීඩාවට වඩා අතිශය විශාල මුදල් කන්දරාවක් පාපන්දු ක්‍රීඩාව වටා කරකැවෙමින් තිබීම නිසා ඉන්දියාවට ඒ තිත්ත මිදී පොකුර අත්හරින්නට ද නොහැකිය. එය දේශපාලනික ය. කලාපයේ බලය රඳවා ගැනීම උදෙසා ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනයත්, ගෝලීය බලය වැඩිකර ගැනීම සඳහා පාපන්දු ක්‍රීඩාවේ පාලනයත් ඔවුනට අවැසිව තිබේ.

තහනම සහ ඊට හේතුව

පසුගිය දා ඉන්දියාවට ලබා දුන් පාපන්දු තහනමෙන් ඔවුන්ගේ සියලු සැලසුම් විසිර ගියේය. එය ආසන්න වශයෙන් ආරම්භ වූයේ AIFF ප්‍රධානී සහ FIFAහි කමිටු සාමාජික ප්‍රෆුල් පටෙල් සමස්ත ඉන්දියානු පාපන්දු සම්මේලනයේ ප්‍රධානී ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ය. ඔහුගේ නිදහසට කරුණ වී තිබුණේ කොවිඩ්-19 වයිරසයයි. එය පුදුමාකාර නිදහසට කාරණයකි. ඔහු විසින් ප්‍රධානත්වය දැරූ සම්මේලනය පිළිබඳව නඩුවක් විභාග වෙමින් පවතිද්දී ඔහු විසින් සදාචාරාත්මකව කළ යුතුව තිබුණේ තනතුරින් ඉල්ලා අස්වීම ය.

එහෙත් ඉන්දියාවේ අධිකරණ පද්ධතිය බලවත් නිසා 2022 මැයි 18 වැනි දින ඔහුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තනතුරින් පහ කරන ලදි. අතුරු කමිටුවක් පත්කොට AIFF හි පාලනය එයට භාර දෙනු ලැබිණි. එම කමිටුව හා FIFA යම් කාලයක් වැඩ කටයුතු කිරීමේ ප්‍රතිඵලය වූයේ ඉන්දියාවට පාපන්දු තහනමක් ලබා දීම ය.

ipleaders.in
ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ල

AIFF හි ව්‍යවස්ථාව වෙනස් කළ යුතු නම් එය සිදු විය යුතුව තිබුණේ FIFA හි අනුදැනුම ඇතුව ය. එහෙත් ව්‍යවස්ථා වෙනසේ පළමු ගොනුව විවෘත වන විට සිදුව තිබුණේ අතුරු කමිටුව විසින් යම් යම් වෙනස්කම් ඊට ඇතුළත් කොට තිබීමයි. එය ඡන්දයකින් පත්වූ AIFF විධායක කමිටුව හරහා සිදු නොවීම FIFA හි සැලකිල්ලට බඳුන් විය.

තෙවැනි පාර්ශවයන්ගේ බලපෑම් වලට FIFA හි සාමාජිකයන්ට ඉඩ ලබානොදෙන්නේ එවිට ප්‍රධාන පාපන්දු බලධාරයාගේ (FIFA) අනුදැනුමින් තොරව කටයුතු සිදු විය හැකි වන බැවිනි. එවිට “FIFA යනු ස්වාධීන ආයතනයක් ය” යන කරුණ පසක් වන්නේ නැත. මෙහි “තෙවැනි පාර්ශවය” යනුවෙන් වර නගා ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පත් කළ අතුරු කමිටුව ය. එය ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ පාලනයෙන් තොර බවයි FIFA හි මතය.

තහනම නිසා මූලික වශයෙන් ජාත්‍යන්තර පාපන්දු ඔවුනට අකැප වේ. එය සියලු වයස් කාණ්ඩවල සියලුම ජාතික ක්‍රීඩකයන්ට බලපැවැත්වේ. එමෙන්ම කාන්තා/පිරිමි භේදයකින් තොරව තහනම ක්‍රියාත්මක වන අතර ක්‍රීඩා සමාජ දක්වාම එය ගලා යයි.

එමෙන්ම පාපන්දු සංවර්ධන වැඩසටහන්, ජාත්‍යන්තර ක්‍රීඩක හුවමාරු ද තහනම් වේ. එහෙත් දේශීය ඉන්දීය තරගාවලිය සහ දේශීය ක්‍රීඩක හුවමාරු සම්බන්ධව එම තහනම බල පැවැත්වෙන්නේ නැත.

FIFA බලාපොරොත්තු වන්නේ කුමක්ද?

තහනම ඉවත් කිරීමට නම් FIFA විසින් ප්‍රධාන කාරණා දෙකක් බලාපොරොත්තු වේ.

අතුරු කමිටුව විසින් ව්‍යවස්ථාවට සිදු කළ වෙනස්කම් නැවත සංශෝධනය කළ යුතු බව කියැවේ. AIFF හි පාලනාධිකාරය විසින් එය පරික්ෂා කළ යුතු සහ දෛනික කටයුතු ගැන සම්බන්ධ වීම අත්‍යාවශ්‍ය වේ.

එමෙන්ම එම වෙනස්කම් FIFA සහ ආසියානු පාපන්දු කවුන්සිල (AFC) නිර්දේශ සහ ප්‍රතිපත්ති වලට අනුකූල විය යුතු වේ. AIFF වෙත නිලධාරීන් පත්කරගන්නා ඡන්ද විමසීම ප්‍රාන්ත බලධාරීන් අතින් සිදු විය යුතු බව ද සඳහන් ය. එය ඔවුන් විසින් ඉන්දියානු පාපන්දු සම්මේලනයේ වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත ලිපියකින් දන්වා ඇත.

FIFA පවසන්නේ ඔවුන් විසින් සඳහන් කොට තිබෙන සියලු කරුණු සපුරන්නේ නම් පමණක් තහනම ඉවත් කරන බවයි.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මේ පිළිබඳ කරුණු විමසීමක් පවත්වමින් සිටියි. ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලනයක් සහ ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ ශ්‍රේෂ්ඨාධිකරණය අතර පවතින මෙම මතභේදය කලාපීය අර්බුදවලින් නොකඩවා බැට කමින් සිටින අපට නම් ඉන්දියානු මුරුක්කු කමින් නැරඹිය හැකි නාට්‍යයක් බව සඳහන් කළ යුතුමැ ය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<