MSගේ වාර්තාව DK යටතට!

213

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (01) පැවති Kolkata Night Riders සහ Rajasthan Royals අතර තරගයේ දී තවත් එක් සුවිශේෂී කඩඉමක් පසුකිරීමට Kolkata Night Riders කඩුලු රකින ක්‍රීඩක Dinesh Karthik සමත් විය.

ඒ කඩුලු රකින ක්‍රීඩකයෙකු විසින් ලබා ගත් වැඩිම උඩපන්දු සංඛ්‍යාවට හිමි වාර්තාව තමන් සතුකර ගනිමින්. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ Chennai Super Kings නායක Mahendra Singh Dhoni ය.

මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ.

ඊයේ Rajasthan Royals සමඟින් පැවති තරගයේ දී පිත්තෙන් දස්කම් දැක්වීමට Dinesh Karthik  සමත්නොවූවද පන්දු රැකීමේ දී තම වගකීම උපරිමයෙන් ඉටු කිරීමට ඔහු සමත් විය. එම තරගයේ දී Dinesh Karthik  පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගියේය.

කඩුලු රකින ක්‍රීඩකයා ලෙස එම තරගයේ දී උඩපන්දු 4ක් ලබා ගැනීමට Dinesh Karthik  සමත් විය. රාජස්ථාන් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා වූ Ben Stokes දවා ගැනීමට ඔහු ලබා ගත් උඩපන්දුව ඉන් සුවිශේෂී විය.

Rajasthan Royals ඉනිමේ දෙවන පන්දු වාරයේ දී පැට් කමින්ස් යැවූ පන්දුවක් හමුවේ Ben Stokes ලබා දුන් උඩ පන්දුව අඩි 3ක් පමණ ඉහළට ඉපිලී ගොස් ලබා ගැනීමට Karthik සමත්වූයේ කොල්කටා ජයග්‍රහණයේ සුවිශේෂී සංධිස්ථානයක් සටහන් කරමිනි.

තවත් ක්‍රිකට් පුවත්: 

ඊයේ පැවති තරගයේ දී ලබා ගත් උඩපන්දු සමඟින් Karthik  මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී උඩ පන්දු 110ක් ලබාගෙන ඇති අතර මීට පෙර එම වාර්තාවට හිමිකම් කී Mahendra Singh Dhoni ලබාගෙන ඇති උඩපන්දු සංඛ්‍යාව 109කි.

Mahendra Singh Dhoniගේ Chennai Super Kings මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත්ව ඇති අතර Kolkata Night Riders අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තුවෙන් පසු වේ.

කඩුලු රකින ක්‍රීඩකයා ලෙස වැඩිම උඩපන්දු සංඛ්‍යාවක් ලබා ගත් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ තුන්වැනි ස්ථානය Parthiv Patel හට හිමිව ඇති අතර ඔහු උඩපන්දු 66ක් ලබාගෙන තිබේ. එම සටහනේ සිව්වැනි හා පස්වැනි ස්ථාන පිළිවෙළින් උඩපන්දු 65ක් හා 58ක් ලබාගෙන ඇති Naman Ojha හට හා Robin Uthappa හට හිමිව තිබේ.

“Dinesh Karthikගේ උඩපන්දුව ඉතාමත් විශිෂ්ට එකක්. ඒ වගේ උඩපන්දුවක් රැකගත්තම ඒකේ සම්පූර්ණ ගෞරවය හිමිවෙන්න ඕනේ කඩුලු රකින ක්‍රීඩකයාට. ඒ උඩපන්දුව සම්පූර්ණයෙන්ම ඔහුගේ. පන්දු යවන්නාට වඩා දෙයක් ඔහු කළා. ඒක කඩුලු රකින ක්‍රීඩකයාගේ උඩපන්දුවක්, කඩුලු රකින ක්‍රීඩකයාගේ කඩුල්ලක්” iplt20.com වෙබ් අඩවිය ඔස්සේ අදහස් දක්වමින් Kolkata Night Riders නායක Eoin Morgan පවසා තිබුණි.

ඊයේ පැවති තරගයේ දී Kolkata Night Riders කණ්ඩායම Rajasthan Royals ලකුණු 60කින් පරාජය කිරීමට සමත් විය.

Kolkata Night Riders පළමු ඉනිම සඳහා දැවැන්ත ලකුණු 191ක් වාර්තා කළ අතර එහි වැඩි ගෞරවය හිමි වූයේ Eoin Morgan හටය. ඔහු පන්දු 35ක් තුල නොදැවී ලකුණු 68ක් වාර්තා කිරීමට සමත් විය.

පන්දු යැවීමේ දී Kolkata Night Riders කණ්ඩායමේ Pat Cummins විශිෂ්ට කඩුලු 4ක් දවා ගත් අතර Rajasthan Royals ලකුණු 131කට සීමා කිරීමට ඔවුන් සමත් විය.

ඊයේ තරගයේ දී තම කණ්ඩායම දැක්වූ දක්ෂතා පිළිබඳව Kolkata Night Riders නායක Eoin Morgan අදහස් දක්වා තිබුණි.

“කණ්ඩායමේ හැමෝම මේ ජයග්‍රහණයට කැපවුනා. අපේ ක්‍රීඩකයන් ඔවුන්ගේ කාර්‍යභාරය ඉටු කළා. ක්‍රීඩකයන් ඔවුන් කරන්න ඕනේ දේ නිවැරදිව වටහා ගෙන කටයුතු කළා. කණ්ඩායම අද තරගය ක්‍රීඩා කළේ අපි මේ තරගාවලිය තුලම ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වුන විදිහට. තරගය ජයග්‍රහණය කරන්න ලැබීම සතුටක්. ඊළඟ වටයට සුදුසුකම් ලබන එක දැන් අපිට පාලනය කරන්න බැහැ. ඒත් අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ වටයට පිවිසෙන්න පුළුවන් වේවි කියලා.” 

තරග ජයග්‍රහණයත් සමඟින් Kolkata Night Riders ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයට පත්ව සිටින අතර අද සහ හෙට පැවැත්වීමට නියමිත තරග වල ප්‍රතිඵලය අනුව ඔවුන් දෙවන වටයට පිවිසීම තීරණය වනු ඇත.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<