තුන්පිම්ම අතහැරපු ක්‍රිකට්වලට වඩා පාපන්දුවලට කැමති අපේ “ඉස්සා”

620
Isuru Udana

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුල එකම ශ්‍රී ලංකා නියෝජනය වන්නේ ඉසුරු උදානයි. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ඔහු වැදගත් කාර්‍යභාරයක් ඔහු ඉටු කරයි. 

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ක්‍රීඩකයන් එක්වූ සාකච්ඡාවක දී ඉසුරු සිය ක්‍රිකට් ජීවිතය පිළිබඳව සිහිපත් කර තිබුණේ මෙසේයි.

“මම ඉසුරු උදාන. මම ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඒ වුනාට මම ක්‍රිකට්වලට වඩා පාපන්දුවලට කැමතියි. ඇත්තටම කියනවා නම් මම ක්‍රිකට්වලට කලින් මලල ක්‍රීඩකයෙක්. මගේ ක්‍රීඩාව වුනේ තුන් පිම්ම. ඒත් එක්කම මම දුර පැනීමත් කළා. 

ඒත් ප්‍රශ්නය වුනේ මගේ පාසලේ අපිට හිටියේ එක් පුහුණුකරුවෙක් විතරයි. ඔහු තමයි හැමදේම කළේ. ක්‍රිකට්, මලල ක්‍රීඩා වගේම හැම ක්‍රීඩාවකම පුහුණුකරු වුනේ ඔහු. ඒ නිසා මම මලල ක්‍රීඩාවත් එක්කම ක්‍රිකට්වලටත් පුරුදු වුනා. මම අවුරුදු 13 වගේ ඉඳන් ක්‍රිකට් සෙල්ලම් කළා. ක්‍රීඩකයෙක් විදිහට ක්‍රිකට්වලට යොමු වුන එක ගැන අදටත් සතුටක් තියනවා. මම හිතනවා මම හරි පාර තෝරගත්තා කියලා.”

ඉසුරු උදාන උපත ලබන්නේ 1988 බලංගොඩ ප්‍රදේශයේ. බලංගොඩ ආනන්ද මෛත්‍රිය විද්‍යාලයෙන් ක්‍රිකට් දිවිය ආරම්භ කරන ඉසුරු ඉන් අනතුරුව කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට පිවිසියා.

Isuru Udana
2009 වසරේදී ශ්‍රී ලංකා A කණ්ඩායම නියෝජනය කරමින් (Image Courtesy- Alchetron.com)

“ශ්‍රී ලංකාවේ දී අපිට ක්‍රිකට් ක්‍රීඩකයන් විදිහට සෑහීමකට පත්වෙන්න පුළුවන් වැටුපක් ලැබෙනවා. මලල ක්‍රීඩාව ඊට වඩා වෙනස්. මම ක්‍රිකට් තෝරගන්න ඒකත් ප්‍රධාන හේතුවක් වුනා. 

මගේ පවුලේ සහෝදරයන් දෙදෙනෙක් සහ සහෝදරියක් ඉන්නවා. මට ඉන්නේ අයියා කෙනෙක් අක්කා කෙනෙක් සහ මල්ලි කෙනෙක්. මගේ අයියත් මලල ක්‍රීඩකයෙක්. ඔහු හෙල්ල විසි කිරීමේ ජාතික ශූරයා විදිහට වසර දෙකක් හිටියා. අපි ක්‍රීඩා පවුලක්. 

මගේ උපන්ගම කොළඹ නෙමෙයි. මගේ ගම කොළඹින් ගොඩක් ඈත තියෙන්නේ. ශ්‍රී ලංකාවේ අපිට ගොඩක් හොඳ පාසල් ක්‍රිකට් ආකෘතියක් තියනවා. පාසල් ක්‍රීඩකයන් වයස අවුරුදු 11 ඉඳන් 19 වෙනකම් පාසලේ දී ක්‍රිකට් සෙල්ලම් කරනවා. මම අවුරුදු 13 ඉඳන් සෙල්ලම් කළා. මම මගේ ගමේ පාසලේ ක්‍රිකට් කණ්ඩායමට අවුරුදු 17 වෙනකම් ක්‍රීඩා කළා. 

ඊට පස්සේ මට කොළඹ එන්න පුළුවන් වෙනවා ශිෂ්‍යත්වයක් ලැබිලා. මම හිතනවා එතන දී තමයි මගේ ජීවිතය වෙනස් වුනේ. මම ජාතික කණ්ඩායමට එද්දී මම ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා කරලා තිබුණේ නැහැ. මම 2009 දී ජාතික කණ්ඩායමට ඇතුළත් වෙද්දී මට වයස අවුරුදු 19ක් විතර. 

මම පාසලේ 19න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කරාට පස්සේ 23න් පහළ තරගාවලියට ක්‍රීඩා කළා. ඒකෙ දී මට අවස්ථාවක් ලැබුණා ලංකාවේ වේගපන්දු ඇකඩමියට සහභාගී වෙන්න. ඒ වෙද්දී ජාතික කණ්ඩායම සහ A කණ්ඩායම තරග සංචාර දෙකකට සූදානම් වෙමින් හිටියේ. ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයකට එන්න හිටියේ. A කණ්ඩායම දකුණු අප්‍රිකාවේ දීර්ඝ සංචාරයකට සූදානමින් හිටියේ. 

ඇකඩමියේ දී මට අවස්ථාව ලැබුණා ඒ කණ්ඩායම්වල ක්‍රීඩකයන්ට පන්දු යවන්න. පුහුණුවීම්වල දී. මම ඒ වෙලාවේ ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා. මගේ පන්දු යැවීම දැක්ක A කණ්ඩායමේ පුහුණුකරු මට කිව්වා සංචිතය තෝරාගන්න පුහුණු සැසියට එන්න කියලා. ඒ වෙද්දී මම ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා කරලා තිබුණේ නැහැ. පාසලෙන් ඉවත් වෙලා ගොඩක් කල් ගිහින් තිබුණේ නැහැ. 

A කණ්ඩායම තෝරාගන්න තිබුණ පුහුණු තරගවල දී මම හොඳින් ක්‍රීඩා කළා. මගේ නම අතිරේක සංචිතයට ඇතුළත් වෙලා තිබුණා. ඒත් ඒ සංචිතයට නම් කරපු එක් ක්‍රීඩකයෙක් ආබාධයකට ලක්වෙලා මට වාසනාව හිමි වුනා සංචිතයට එන්න. ඒ 2009 වසරේ දී. එහෙම තමයි මම ශ්‍රී ලංකා A කණ්ඩායමට එන්නේ.”

2009 වසරේ දී ප්‍රථම වරට ශ්‍රී ලංකා A කණ්ඩායම සමඟින් දකුණු අප්‍රිකානු සංචාරයක් සඳහා එක්වන ඉසුරු පසුව ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය සමඟ එකතු වුනා.

“මුල් කාලය මට දුෂ්කර කාලයක් වුනා. විශේෂයෙන් මම ගමේ ඉඳන් ආව ක්‍රීඩකයෙක් නිසා. මට ගමෙන් එන්න වුනා. පවුලෙන් වෙන් වෙලා. මම කොළඹ ඇවිල්ලා අවුරුදු 5ක් 6ක් වගේ තනියෙන් හිටියේ. ඒ කාලේ මම ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා කළා. පස්සේ ජාතික කණ්ඩායමට ආවට පස්සේ මට ලේසි වුනා කොළඹ ඉන්න එක. ගොඩක් අත්දැකීම් තියන ක්‍රීඩකයන් එක්ක කටයුතු කරන්න ලැබුණා. මහේල, සංගක්කාර වගේ. විශේෂයෙන් මහේල. ඔවුන් මට ගොඩක් උදව් කළා. 

පහුගිය වසර 3 වගේ කාලය තුල මගේ හැකියාවන් ගැන ගොඩක් අය විශ්වාස කළේ නැහැ. මට අවස්ථාවක් ලැබුණා ආදේශක ක්‍රීඩකයෙක් විදිහට තරගාවලියකට ක්‍රීඩා කරන්න. ඒකෙදි මම හොඳම පන්දු යවන්නා වුනා. ඒක මට ලැබුණ හොඳම අවස්ථාවක්. 

ඒ කාලේ හැම දවසක්ම මට අලුත්ම අත්දැකීමක් වුනා. විශේෂයෙන් මට ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන් වුන සංගක්කාර, මහේල, සනත්, මුරලි වගේ ක්‍රීඩකයන් එක්ක ක්‍රීඩා කරන්න ලැබුණා. ඔවුන් එක්ක ක්‍රීඩා කරන්න මම වාසනාවන්ත වුනා.”

Isuru Udana
2019 වසරේ දී Mzansi Super League තරගාවලිය නියෝජනය කරමින් (Image Courtesy- Islandcricket.lk)

ටැමිල් යූනියන් කණ්ඩායම සමඟ සිය ක්‍රීඩා සමාජ දිවිය ආරම්භ කරන උදාන ඉන් අනතුරුව පළාත් තරගාවලිය නියෝජනය කිරීම සඳහා වයඹ කණ්ඩායම හා එක්වුනා. එම තරගාවලියේ දී ඔහු දැක්වූ දක්ෂතා වෙනුවෙන් ඔහු තරගාවලියේ වීරයා සම්මානය දිනා ගැනීමට ද සමත් වුනා.

තවත් විශේෂාංග ලිපි:

මෙහි දී එක් තරගාවලියක් අතරතුර සිදු වූ සුවිශේෂී සිදුවීමක් පිළිබඳව ද ඉසුරු උදාන සිහිපත් කර සිටියා. 

උදාන ක්‍රීඩා කළ තරගයක් අතරතුර ක්‍රීඩාංගණයේ තිරයේ යම් කාන්තාවක් Marry Me Udana ලෙසට සඳහන් පුවරුවක් අතැතිව සිටින දර්ශනයක් පෙන්වා තිබුණි. එහි දී උදාන සිය මුදුව පැලඳි ඇඟිල්ල ප්‍රේක්ෂකාගාරය වෙත යොමු කර සිටියා. 

“මම MSL තරගාවලියේ අවසන් තරගය ක්‍රීඩා කරද්දී මම දැක්කා ඒ තිරයේ පෙන්නුවා ඒ පුවරුව. ඒ වෙලාවේ මම මගේ මුදුව තියන ඇඟිල්ල පෙන්වුවා. මට කියන්න ඕනෙ වුනේ මම විවාහකයි කියන එක. ඒත් ඒක ගොඩක් අය වැරදි විදිහට නිරූපණය කරලා තිබුණා.”

ඉසුරු උදානගේ සුවිශේෂීම පන්දුව වන්නේ වේගය අඩාල කරමින් ඔහු එල්ල කරන පන්දුවයි. එම පන්දුව සොයාගැනීම අහම්බයකින් සිදු වූ බව උදාන සිහිපත් කර සිටියා.

Isuru Udana
ඉසුරු උදාන 2019 පළාත් තරගාවලිය අතරතුර

“2009 අවුරුද්දේ මම පළාත් තරගාවලියට ක්‍රීඩා කළා. ඒ තරගාවලියේ දී මම හොඳම පන්දු යවන්නා වුනා. ඒ කාලේ ඇත්තටම මම පාසලෙන් ආවා විතරයි. මම දැනගෙන හිටියේ දුවගෙන ඇවිල්ලා පන්දු යවන්න විතරයි. මම කරන්න ඕනෙ දේ දැනගෙන හිටියේ නැහැ. Inswing, outswing පන්දු යවන්න ඕනේ කියලා මම දන්නේ නැහැ. 

එක තරගයක දී මම වේගය අඩු පන්දුවක් යැවුවා. මම ඒ පන්දුවෙන් කඩුල්ලක් දවා ගත්තා. මම උපුල් තරංගට පන්දු යැවුවේ. ඒ වෙලාවේ මට තේරුණා ඒක කඩුලු ලබාගන්න හොඳ පන්දුවක් කියලා. මම ඒ පන්දු යවන හැකියාව දියුණු කරගන්න ඕනේ කියලා මට තේරුණා. ඊට පස්සේ මම ගොඩක් පුහුණුවීම් කළා. දැන් මට ඒ පන්දුව යවන්න හොඳ හැකියාවක් තියනවා.”

ඉසුරු උදාන ඉන්දීය හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනිගේ පිත්තෙන් සෙල්ලම් කරන බව බොහෝ දෙනා දන්නා කරුණක් විය. එහි අතීත කතාව ඔහු මෙලෙස සිහිපත් කළා.

“ඇත්තටම ඒ පිත්ත මට කෙළින්ම දෝනිගෙන් ලැබුණේ නැහැ. දැනට වසර දෙකකට වගේ කලින් පළාත් තරගාවලියක් තිබුණා. ඒකෙ දී මම දැක්කා අමුතු විදිහේ පිත්තක් තියනවා ක්‍රීඩකයෙක් ළඟ. ඔහු ඒක දෙන්න කැමති වුනේ නැහැ. මම ඔහුට කිව්වා මම පිති දෙකක් දෙන්නම් ඒක මට දෙන්න කියලා. මට ඕනෙ වුනේ ඒක මොන වගේද කියලා බලාගන්න. මම ඒ පිත්තෙන් ගොඩක් ලකුණු රැස්කළා. මං ළඟ තාමත් ඒක තියනවා.“

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉසුරු උදාන නම් වී තිබුණේ අඩු වටිනාකමක් සහිත ක්‍රීඩක ලැයිස්තුවේ. නමුත් ඔහු තරගාවලිය තුල දැක්වූ දක්ෂතා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ජයග්‍රහණවලට දැඩි බලපෑමක් එල්ල කළේ එම කණ්ඩායමේ වටිනාම ආයෝජනය ඔහු බව පසක් කරමිනි. 

“ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මම බැලුවේ පුහුණුවීම් ඉවර වෙලා. වට තුනක් වගේ යද්දිත් මාව තෝරගෙන තිබුණේ නැහැ. මම හිතුවා ඒක සාමාන්‍යයි කියලා. මොකද මම අඩු වටිනාකමක් තියන ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ හිටියේ. පස්සේ මම TV එක ඕෆ් කළා. පස්සේ තමයි මම දන්නේ මාව තෝරගෙන කියලා. 

මට ගොඩක් සතුටුයි රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එන්න ලැබුණ එකට. ඒකට හේතුවක් තියනවා. මට ABට පන්දු යවන්න ඕනෙ වුනේ නැහැ. ඔහුත් මේ කණ්ඩායමේ ඉන්න නිසා මම ගොඩක් සතුටුයි. මේ කණ්ඩායමේ ගොඩක් ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන් ඉන්නවා. විරාත්, AB, ඩේල් වගේ අය. මේක මට ගොඩක් වටින අවස්ථාවක්. ඒ වගේම මේක ලොකු අත්දැකීමක්.”

Isuru Udana
ඉසුරු උදාන 2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර (Image Courtesy- iplt20.com)

“මට පාලනය කරන්න බැරි දේවල් ගැන මම හිතන්නේ නැහැ. මගේ ශාරීරික යෝග්‍යතාව, මගේ ක්‍රිකට් හැකියාව, මගේ පුහුණුවීම් මට පාලනය කරන්න පුළුවන් දේවල්. මම හිතනවා මම ඒ දේවල් ගැන හොඳින් අවධානය යොමු කරලා කටයුතු කළාම මට අවස්ථාවක් ලැබේවි කියලා. අවස්ථාවක් ලැබෙන වෙලාවේ ඒක ගන්න අපි සූදානමින් ඉන්න ඕනේ.”

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු බවට පත්ව සිටින ඉසුරු උදාන ජාත්‍යන්තර තරග 30කට ක්‍රීඩා කරමින් ලකුණු 230ක් සහ කඩුලු 24ක් දවාගෙන ඇත. 

එක්දින ජාත්‍යන්තර තරගවල දී තරග 18ක් තුල ඔහු ලකුණු 190ක් සහ කඩුලු 16ක් වාර්තා කර ඇත. ඉසුරු උදාන සිය පළමු පෙළ ක්‍රිකට් තරග තුල ලකුණු 2110ක් වාර්තා කර ඇති අතර කඩුලු 175ක් දවාගෙන තිබේ. ඒ තරග 76කට ක්‍රීඩා කරමිනි.

Royal Challengers Bangalore නිල Facebook පිටුවේ තිබූ වීඩියෝවක් ඇසුරෙනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<