වසර 75ක අභිමානය නොසැලී ඉදිරියටත්

82

ලොකු කුඩා වයස් භේදයකින් තොරව රග්බි ක්‍රීඩාවට ඇලුම් කරන සුවහසක් ශ්‍රී ලාංකීය රග්බි ප්‍රේක්ෂක ජනයාගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ, පාසල් රග්බි පිටියේ දැවැන්තයින්ගේ ගැටුම ලෙසින් සංක්ෂිප්තව හැඳින්විය හැකි කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර බ්‍රැඩ්බි පළිහ වෙනුවෙන් වාර්ෂිකව පැවැත්වෙන මහා රග්බි ගැටුමේ නවතම පරිච්ඡේදය එළඹෙන මැයි මාසයේ දී පැවැත්වීමට සියල්ල සූදානම් බව ඊයේ (1) දිනයේ දී සංවිධානය කර තිබූ උත්සවය සඳහා එක් වූ තරගාවලි සංවිධායක කමිටුව විසින් ප්‍රකාශයට පත් කළේය.

බ්‍රැඩ්බි කිරුල සඳහා දින නියමවේ

ශ්‍රී ලංකා පාසල් රග්බි පිටියේ පැරණිතම හා ස්වර්ණමය තරගාවලියක් වන කොළඹ රාජකීය විද්‍යාලය හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර බ්‍රැඩ්බි…

වසර 75ක පමණ ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන බ්‍රැඩ්බි කුසලාන තරගාවලිය මෙරට රග්බි වංශ කතාවේ සුවිශේෂී පිටුවක් පෙරළීමට සමත් වූ ඓතිහාසික තරගාවලියක් ලෙසින් වාර්තා පොත් අතරට එක්වේ.

තරගාවලිය පිළිබඳ නිල වශයෙන් දැනුවත් කිරීම සඳහා ඊයේ දිනයේ දී සංවිධානය කර තිබූ උත්සවය වෙනුවෙන් සහභාගී වෙමින් ගරු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා මෙම පාසල් ද්විත්යෙන් එදා මෙදාතුර සිදුව ඇති සේවය අතිමහත් බවය.

“පාසල් දෙකම පිටියේ දී ප්‍රතිවාදීන් ලෙස සලකමින් එකිනෙකා පරයා නැගී සිටින්න උත්සාහ කළත්, තරග පිටියෙන් ඔබ්බට ගිය විට දෙගොල්ලන් අතරම දක්නට ලැබෙන්නේ විශාල සහෝදර බැඳීමක්. සම්ප්‍රදායිකව කණ්ඩායම්  දෙකම කිසිදු අනවශ්‍ය මැදිහත් වීම් වලින් තොරව ඉතාමත් සාමකාමීව තරගාවලිය හසුර වන ආකාරය පිළිබඳ ප්‍රසාදය පළ කළ යුතු අතර දිනයේ දී හොඳින්ම ක්‍රීඩා කරන කණ්ඩායම ශූරයින් ලෙස අභිෂේක ලබාවී.”

පසුගිය දශක තුන පුරාවටම බ්‍රැඩ්බි කුසලාන තරගාවලියේ සාර්ථකත්ව වෙනුවෙන් තම දායකත්වය නොමදව ලබා දුන් සිංගර් ශ්‍රී ලංකා සමාගම මෙවරත් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරමින් ක්‍රීඩකයින් දිරිමත් කිරීමට සිය එකඟතාව පළකොට තිබේ.

එම සමාගමේ ප්‍රධාන අලෙවිකරණ අධ්‍යක්ෂක කුමාර් සමරසිංහ මහතා උත්සව සභාව අමතමින් පවසා සිටියේ වසර 30කට ආසන්න කාලයක් සිය නොමසුරු දායකත්වය මෙම මහා රග්බි ගැටුම වෙත නොපිරිහෙලා ලබා දීමට හැකි වීම පිළිබඳ ආයතනයක් වශයෙන් තමන් ඉතාමත් සතුටට සහ ආඩම්බරයට පත් වන බවයි.

රාජකීය සුළි සුළඟ තවත් වසරක් කලඹන්නට සූදානම්

සියලු පාසල් කණ්ඩායම් සුනුවිසුනු කරමින් රාජකීය සුළි කුණාටුව 2017 වසරේ මෙන්ම 2018 වසරේ දී ද අඛණ්ඩව මෙන්ම අපරාජිතව සිංගර්…

පාසල් රග්බි පිටියේ අතිශය තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙසින් හැඳින්විය හැකි බ්‍රැඩ්බි කුසලානය සඳහාම ආවේණික වූ සුවිශේෂී ලාංඡනයක් ඊයේ දිනයේ දී එළිදැක්වීමට තරගාවලි සංවිධායක කමිටුව පියවර ගෙන තිබුණි.

රාජකීය විද්‍යාලය නියෝජනය කරමින් තරගාවලි සංවිධායක කමිටුවේ සභාපති ලෙසින් කටයුතු කරන හරිත් ජයසූරිය මහතා පවසා සිටියේ බ්‍රැඩ්බි වංශ කතාවේ 75 වැනි සැමරුමට සමගාමීව මෙසේ වෙනස්කම් කිහිපයක් හඳුන්වා දීමට ඔවුන් තීරණය කළ බවය. ඒ අනුව මෙම වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉදිරි වර්ෂයන් සඳහා තරගාවලියේ නිල ලාංඡනය ලෙස නව සංකේතය යොදා ගන්නා අතරවාරයේ මෙම තරගාවලිය උදෙසාම නිර්මාණය කළ විශේෂ කාසිය උපයෝගී කර ගනිමින් කාසියේ වාසිය උරගා බැලීම සිදු කිරීමට ඔවුන් අපේක්ෂා කරන බව වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

මීට අමතරව මෙම සුවිශේෂී අවස්ථාව සිහිකරමින් සමරු මුද්දරයක් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත පිළිගැන්වීමට සංවිධායක කමිටුව පියවර ගෙන තිබුණි.

තරගාවලියේ පළමු අදියර මැයි මස 11 වැනිදා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වීමට නියමිත අතර දෙවන අදියර එම මස 25 වැනිදා රාජකීය විද්‍යාල ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<