ප්‍රථම දකුණු ආසියානු ජල ක්‍රීඩා තරගාවලිය උත්සවශ්‍රීයෙන් ආරම්භ වේ

454

ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩා වංශ කතාවේ නව සංධිස්තානයක් සනිටුහන් කරමින් ප්‍රථම දකුණු ආසියානු ජල ක්‍රීඩා තරගාවලියේ ආරම්භය ඊයේ (18) සනිටුහන් විය. ඒ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස පිහිණුම් තටාක සංකීර්ණයේදී.

පසුගිය ලිපි: ප්‍රථම දකුණු ආසියානු ජල ක්‍රීඩා තරගාවලියට සියල්ල සූදානම්

දකුණු ආසියාතික රටවල් හතක් නියෝජනය කරමින් පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400ක් පමණ මේ සඳහා සහභාගී වන අතර වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සත්කාරක ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ද සහභාගී වනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළ සහ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් ලාබී ක්‍රීඩකයෙකු වන මැතිව් අබේසිංහ හට වන අතර ඔහු විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ  දිවුරුම් ප්‍රකාශය, ප්‍රකාශ කිරීමෙන් අනතුරුව තරගාවලියේ සමාරම්භය සනිටුහන් විය.

දකුණු ආසියානු කලාපය නියෝජනය කරමින් ඇෆ්ගනිස්තානය, පාකිස්ථානය, නේපාලය, මාලදිවයින, බංගලාදේශය, ඉන්දියාව හා ශ්‍රී ලංකාව මෙහිදී එකිනෙකා සමඟින් තරග වැදිමට නියමිතව ඇත. මේ අතර සත්කාරක ශ්‍රී ලංකාවට පසුව වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගී වන රට වන්නේ ඉන්දියාවයි.

“මෙයට සහභාගී වන තරගකරුවන් සියලු දෙනාටම මම සුභ පතනවා. සියලු මතභේද අමතක කරලා ඒ ඒ රටවල් නියෝජනය කරමින් නොව එක කලාපයක් වශයෙන් දකුණු ආසියාව යටතේ ක්‍රීඩා කරමු” යැයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සමාරම්භයේදී ප්‍රකාශ කරනු ලැබීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ සභාපති කොමදෝරු ජයන්ත ගමගේ මහතා, එහි ලේකම් මිගාර ගුණතිලක , ප්‍රධාන අනුග්‍රාක ෆොන්ටෙරා සමාගමේ නිලධාරීන් ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

ඊයේ ආරම්භ වන පිහිණුම්, කිමිදුම්, විවෘත මුහුදු පිහිණුම් හා ජල පෝලෝ තරග වලින් සමන්විත මෙම තරගාවලිය දින හයක් පුරාවට කොළඹ සුගතදාස ගෘහස්ථ පිහිණුම් තටාකය හා ගාලු මුවදොර කේන්ද්‍ර කර ගනිමින් පවත්වනු ලැබේ. තරගාවලිය මෙම මස 23දා දක්වා පවත්වනු ලබන අතර ජල පෝලෝ ක්‍රීඩා ඉසව් රාත්‍රීයේදී විදුලි ආලෝක තත්ත්ව යටතේ පැවැත්වීමට නියමිතයි.

සමාරම්භක උත්සවය නාවික හමුදා නර්තන කණ්ඩායම, කොළඹ විසාකා හා කාන්තා විද්‍යාලීය පිහිණුම් හා කිමිදුම් කණ්ඩායම් මගින්  දර්ශනීය අංග කිහිපයක් ඉදිරිපත් කරමින් විචිත්‍රවත් කරනු ලැබීය.

පසුව තරගාවලිය ආරම්භ කරමින් තරගාවලියේ ප්‍රථම තරගය වන ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ජල පෝලෝ තරගය පවත්වනු ලැබීය.

තවත් පුවත් සඳහා පිවිසෙන්න