ගයන්තිකා, සාරංගි, සමිත් සහ සචිනි වාර්තා අලුත් කරයි

99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය

227

99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය අද (31) නිමාවට පත්වුනේ සමස්ත තරගාවලිය පුරාවටම වාර්තා වූ නව ජාතික වාර්තා 5ක් සහ එක් තරගාවලි වාර්තාවක් සමඟිනුයි.

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හමුවේ අදියර දෙකක් යටතේ පැවති මෙම තරගාවලියේ පළමු අදියර 2020 ඔලිම්පික් උළෙල ඉලක්ක කරගනිමින් ඉකුත් අප්‍රේල් මාසයේ දී පැවැත්වුණේ සීමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකගේ සහභාගීත්වයෙනුයි.

කොරෝනා වසංගතය නිසාවෙන් අඩපන වී තිබුණු මලල ක්‍රීඩා පිටිය නැවත උණුසුම් කරමින් ආරම්භ වූ මෙම තරගාවලියේ දෙවැනි අදියර ද සීමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට සංවිධායකයින් කටයුතු කර තිබුණා.

තරගාවලියේ දෙවැනි දිනයේ උදෑසන පැවති ඉසව්වල දී ඊයේ දිනයේ දී මීටර් 1500 ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගත් දිගුදුර ධාවන ශූරි ගයන්තිකා අබේරත්න විසින් මීටර් 5,000 ඉසව්ව නව ජාතික වාර්තාවක් සමඟින් නිමා කරන්නට සමත් වුනා. ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරන ඇය විසින් ඉසව්ව නිමා කිරීමට ගත් කාලය මිනිත්තු 15:55.84ක්.

ඉසව්වේ දෙවැනි ස්ථානය ඊයේ දිනයේ මීටර් 10,000 ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගත් යුද හමුදා ක්‍රීඩිකා චාමිනි සමුද්ධිකා හේරත් (17:21.83) විසිනුත්, තෙවැනි ස්ථානය යුද හමුදා ක්‍රීඩිකා H. M. W. G. W. M. හේරත් (17:34.04) විසිනුත් ජයග්‍රහණය කළා.

දිනයේ වාර්තා වූ දෙවැනි වාර්තාව සඳහා හිමිකම් කීවේ රිටි පැනීමේ ක්‍රීඩිකා සචිනි පෙරේරා විසිනුයි. ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් දස්කම් දක්වා පසුව මලල ක්‍රීඩාවට පිවිසි ඇය මේ වන විට යුද හමුදාව නියෝජනය කරමින් තරග වදින අතර ඇය විසින් වාර්තා කළ දක්ෂතාවය දැක්වුනේ මීටර් 3.57ක් වශයෙනුයි. මෙය නව ජාතික වාර්තාවක් මෙන්ම තරගාවලි වාර්තාවක් වීම ද විශේෂත්වයක්.

එම ඉසව්වේ දෙවැනි ස්ථානය නාවික හමුදා ක්‍රීඩිකා ඉමාෂා උදානි සිල්වා (මීටර් 3.50) විසිනුත්, තෙවැනි ස්ථානය N. දක්ෂිතා (මීටර් 3.40) විසිනුත් ජයග්‍රහණය කළා.

උදෑසන පැවති යගුලිය විසි කිරීමෙන් ද නව තරගාවලි වාර්තාවක් පිහිටුවන්නට යුද හමුදා ක්‍රීඩක සමිත් මදුසංක ප්‍රනාන්දු සමත් වුනා. ඔහු විසින් එහි දී දැක්වූ දක්ෂතාවය මීටර් 17.36ක්. පොලිස් ක්‍රීඩක A. M. M. පෙරේරා (මීටර් 14.23) විසින් දෙවැනි ස්ථානයත්, යුද හමුදා ක්‍රීඩක දනුෂ්ක දෙල්විට (මීටර් 14.03) විසින් තෙවැනි ස්ථානයත් ජයග්‍රහණය කළා.

යුද හමුදාව නියෝජනය කරන දුර පැනීම ඉසව්වේ ජාතික ශූරිය වන සාරංගි ද සිල්වා විසින් මීටර් 6.48ක දක්ෂතාවයක් පෙන්නුම් කරමින් ජාතික වාර්තාව මෙන්ම නව තරගාවලි වාර්තාවක් ද පිහිටුවන්නට අද සමත් වුනා.

කලක් මලල ක්‍රීඩා පිටියෙන් ඈත් වී කටාර් රාජ්‍යයේ පුහුණුවකට ගොස් සිටි ඇය තුර්කියේ දී පැවති තරගාවලියක දී මීටර් 6.44ක දක්ෂතාවයක් වාර්තා කරමින් ජාතික වාර්තාව බිඳ දමන්නට සමත් වුනා. ඉසව්වේ දෙවැනි ස්ථානය අංජලි පුල්වංස (මීටර් 6.15) හටත්, තෙවැනි ස්ථානය E. M. S. උපේක්ෂා (මීටර් 5.90) හටත් හිමි වුනා.

එමෙන්ම අද පැවති මීටර් 100 කඩුලු පැනීම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගන්නට ලක්ෂිකා සුගන්ධි (තත්පර 13.82) සමත් වුනා. ඇය සයප්‍රයාම ඉසව්වේ ද ප්‍රථම ස්ථාන දිනා ගන්නට සමත් වුනේ 4645ක ලකුණු ප්‍රමාණයක් වාර්තා කරමිනුයි.

මීට අමතරව අද පැවති දසප්‍රයාම ඉසව්ව W. K. D. S. පෙරේරා විසිනුත්, මීටර් 1500 පිරිමි ඉසව්ව හේමන්ත කුමාර (3:48.94) විසිනුත්, යගුලිය විසිකිරීම කාන්තා ඉසව්ව W. T. K. ප්‍රනාන්දු (13.47) විසිනුත්, උස පැනීම පිරිමි ඉසව්ව B. R. I. උදයකුමාර (2.08) විසිනුත්, මිටිය විසිකිරීම පිරිමි ඉසව්ව සංජය බණ්ඩාර (49.75) විසිනුත්, මීටර් 400 කඩුලු පැනීම පිරිමි ඉසව්ව A. L. A. I. රත්නසේන (52.44) විසිනුත්, එහි කාන්තා ඉසව්ව කෞෂල්‍යා මදුෂානි (59.47) විසිනුත්, මීටර් 3000 පිරිමි ඉසව්ව H. M. I. E. U. B. හේරත් (9:06.19) විසිනුත්, උස පැනීම කාන්තා ඉසව්ව D. K. රණසිංහ (1.70) විසිනුත්, මීටර් 10000 පිරිමි ඉසව්ව K. ශම්මුගේශ්වරන් (30:43.35) විසිනුත් ජයග්‍රහණය කළා.

>> තරගාවලියේ දෙවැනි දිනයේ සම්පූර්ණ ලකුණු වාර්තාව සඳහා පිවිසෙන්න <<

දෙස් විදෙස් මලල ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගන්න රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟින්ම.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<