මලල ක්‍රීඩා සංගමයේ සංවත්සරය වෙනුවෙන් විශේෂ තරගාවලියක්

150

ලබන වසරේ (2022) යෙදීමට නියමිතව ඇති ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සියවැනි සංවත්සරය වෙනුවෙන් විශේෂ ක්‍රීඩා තරගාවලියක් සංවිධානය කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය නිවේදනය කර සිටියා.

1922 වසරේ ජනවාරි 22 වැනිදා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය පිහිටුවා ඇති අතර 2022 ජනවාරි 22 වැනිදාට සපිරෙන මෙම සුවිශේෂී ශතක සංවත්සරය සැමරීම උදෙසා එම වසර පුරාවට විශේෂ ක්‍රීඩා තරගාවලි කිහිපයක් පැවැත්වීමට ඔවුන් සැලසුම් කර තිබෙනවා.

එහි පළමු අදියර ලෙස 2022 ජනවාරි 22 වැනිදා නුගේගොඩ නගරයෙන් ආරම්භ වී බත්තරමුල්ල හරහා නැවත නුගේගොඩ පොදු වෙළඳපළ දක්වා දිවෙන මැරතන් තරගයක් පැවැත්වීමට නියමිතයි.

වයස අවුරුදු 18න් ඉහළ ඕනෑම අයෙකුට සහභාගී වීමට හැකියාව ඇති මෙම මැරතන් තරගය සඳහා දකුණු ආසියාවේ තරගකරුවන් හට මලල ක්‍රීඩා සංගමය ආරාධනා කර ඇති අතර මෙහි ජයග්‍රාහකයන් සඳහා මුදල් ත්‍යාග ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

එම තරගයට අමතරව එදිනම නුගේගොඩ නගරය කේන්ද්‍ර කරගනිමින් “Health Run” නම් සංකල්පය යටතේ කිලෝමීටර් 5ක් දිවීමේ තරගයක් පැවැත්වීමට ද ඔවුන් සැලසුම් කර ඇති අතර එහි සියලූම තරග නිමා කරන්නන් හට විශේෂ සහතික පත්‍රයක් ලබා දීමට ද නියමිතයි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<