කලකට පසු මලල ක්‍රීඩා පිටිය රත් කරන්නට සැරසෙන තරු

99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය

279

99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දෙවැනි අදියරේ ඉසව් මේ සති අන්තයේ දී පැවැත්වීමට සියල්ල සූදානම්.

තරගාවලියේ පළමු අදියර 2020 ඔලිම්පික් උළෙල ඉලක්ක කර ගනිමින් ඉකුත් අප්‍රේල් මාසයේ දී පැවැත්වීමෙන් අනතුරුව ඉතිරි ඉසව් අන්තර්ගත කරමින් දෙවැනි අදියර අවස්ථා කිහිපයක දී පැවැත්වීමට සැලසුම් කළ නමුත් කොරෝනා වසංගතයේ බලපෑම මත නැවතත් එය කල් දැමීමට සිදු වුනා.

තරගාවලියේ දෙවැනි අදියර මේ මස 30 සහ 31 (සෙනසුරාදා සහ ඉරිදා) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙන්නේ දැඩි සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ යටතේයි.

මලල ක්‍රීඩා පිටියේ උණුසුම් ඉසව් කිහිපයක් දෙවැනි අදියර සඳහා ඇතුළත් වන අතර පසුගිය කාලසීමාවේ දී යම් යම් හේතූන් නිසාවෙන් ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටි දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක්ම මෙම තරගාවලියට ඇතුළත් වීම විශේෂත්වයක්.

කාන්තා මීටර් 200

මෙවර තරගාවලියට ඇතුළත්ව ඇති ඉසව් අතරින් වඩාත් අවධානයක් දිනා ගත් ඉසව්වක් ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්. මෙම අදියරේ ඇති වේගවත්ම ඉසව්ව වන මෙය තරගාවලියේ පළමු (30) දිනයේ දී පැවැත්වීමට නියමිතයි. සුපිරි ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් මෙවර මෙම ඉසව්වට සහභාගී වීමට නියමිතයි.

  • නදීෂා රාමනායක

මීටර් 200 වත්මන් ජාතික ශූරිය වන නදීෂා ආබාධවලින් සුව වී නැවත මලල ක්‍රීඩා පිටියට පැමිණීමෙන් පසුව මෑත කාලයේ ඉහළ දස්කම් අතර සිටින ක්‍රීඩිකාවක්.

මීටර් 200 සහ 400 යන ඉසව් ද්විත්වයේම ඉහළ දස්කම් දක්වමින් සිටින ඇය 2020 වසරේ පැවති 98 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ මීටර් 200 ඉසව්ව තත්පර 24.15ක කාලයකින් අවසන් කරමින් සිය පෞද්ගලික හොඳම කාලය පිහිටුවීමට ද සමත් වුනා.

නදීෂා රාමනායක

එමෙන්ම මෙම වසරේ පැවති ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ මීටර් 200 ඉසව්ව තත්පර 24.28ක කාලයකින් අවසන් කරන්නට ද නදීෂා සමත් වුනා.

  • මේධානි ජයමාන්න

තවමත් 19 වැනි වියේ පසුවන මේධානි මෑත කාලයේ මීටර් 200 ධාවන පිටියේ ඉහළම රිද්මයක පසුවන ක්‍රීඩිකාවක් ලෙස හඳුන්වන්නට පුළුවන්.

ජාතික මලල ක්‍රීඩා පිටියේ ප්‍රවීණ ක්‍රීඩිකාවන් සමඟ ළාබාල වියේ සිටම කරට කර තරග වැදුණු මේධානි 2021 මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ මීටර් 200 ඉසව්ව දෙවැන්නා ලෙස අවසන් කිරීමට සමත් වුනේ නදීෂා රාමනායකට දෙවැනි වෙමිනුයි.

මේධානි ජයමාන්න

එමෙන්ම ඉන්දියාවේ දී පැවති මලල ක්‍රීඩා තරගාවලියකට ද සහභාගී වූ ඇය එහි දී රිදී පදක්කමක් දිනා ගනිමින් ලෝක යොවුන් මලල ක්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා. එම තරගාවලියේ දී දෙවතාවක්ම සිය පෞද්ගලික හොඳම දක්ෂතාවය බිඳ හෙළීමට සමත් වූ මේධානීගේ මීටර් 200 ඉසව්වේ හොඳම කාලය තත්පර 23.95ක් වීම ද විශේෂත්වයක්.

  • අමාෂා ද සිල්වා

වර්තමාන ජාතික මලල ක්‍රීඩා පිටියේ වේගවත්ම ක්‍රීඩිකාව වන අමාෂා මෙරට කෙටිදුර ධාවන පිටියේ සිටින දක්ෂතම ක්‍රීඩිකාවක්.

මීටර් 100 ඉසව්වේ කැපී පෙනෙන දස්කම් දක්වන අමාෂා මීටර් 200 ඉසව්ව සඳහා සහභාගී වනු මෑත කාලයේ දී වැඩිපුර දක්නට නොලැබුනත්, ඇය එම ඉසව්වේ ද ඉහළ දස්කම් දක්වා තිබීම විශේෂත්වයක්.

අමාශා ද සිල්වා

තවමත් 22 වැනි වියේ පසුවන අමාෂා 2018 වසරේ පැවති දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ මීටර් 200 රන් පදක්කම සහ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ මීටර් 200 රිදී පදක්කම ද ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

මීටර් 200 ඉසව්වේ ඇයගේ පෞද්ගලික හොඳම කාලය තත්පර 24.47ක් ලෙස දැක්වෙන නමුත් වර්තමානයේ ඇය අත් කරගෙන තිබෙන දියුණුව දෙස බලන විට මෙම ඉසව්වේ අනෙකුත් ක්‍රීඩිකාවන්ට විශාල අභියෝගයක් එල්ල කිරීමට ඇයට හැකියාවක් පවතිනවා.

  • රුමේෂිකා රත්නායක

මෙරටින් බිහි වූ සාර්ථකම කෙටිදුර ධාවන ශූරියක් වන රුමේෂිකා මෑත කාලයේ දී මලල ක්‍රීඩා පිටියේ එතරම් දැක ගැනීමට හැකි වුනේ නැහැ. කලකට පසුව 2020 ජාතික මලල ක්‍රීඩා ශූරතාවය සඳහා ඇය සහභාගී වූවත්, එහි දී ද ආබාධයකට ලක්වීමට ඇයට සිදු වුනා.

එම සිදුවීම් සියල්ලෙන් පසු ඇය නැවතත් මෙම තරගාවලියේ දී මීටර් 200 ඉසව්ව නියෝජනය කරමින් නැවත ධාවන පථයට පිවිසීමට සූදානමින් පසුවනවා.

රුමේෂිකා රත්නායක

ආසියානු රිදී පදක්කම් ලාභියෙකු වන රුමේෂිකාගේ මෙම ඉසව්ව සඳහා පෞද්ගලික හොඳම කාලය තත්පර 23.40ක් වන අතර ඇයට නැවත එම රිද්මයට පිවිසීමට හැකිවුවහොත් නැවත ජාතික කිරුළ දිනා ගැනීමට හැකියාවක් පවතිනවා.

මෙම ක්‍රීඩිකාවන්ට අමතරව මෑත කාලයේ එතරම් දස්කම් අතර නොසිටියත්, මලල ක්‍රීඩා පිටියේ බිහි වූ දක්ෂ යොවුන් ක්‍රීඩිකාවක් වන ශෙලින්ඩා ජැන්සන් ඇතුළු තවත් දක්ෂ ක්‍රීඩිකාවන් රැසක් මෙම ඉසව්වට සහභාගී වීමට නියමිතයි.

පිරිමි මීටර් 200 ඉසව්ව

තරගාවලියේ තවත් අවධානයට ලක්වන ඉසව්වක් වන මෙහි මූලික වටයේ ඉසව් සහ අවසන් ඉසව් පළමු (30) දිනයේ දී පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා සහභාගී වීමට නියමිත දක්ෂ ක්‍රීඩකයින් කිහිප දෙනෙක්,

  • කාලිංග කුමාරගේ

තහනම් උත්තේජක චෝදනාවලින් නිදහස් වීමෙන් පසු මීටර් 400 සහ මීටර් 200 කිරුළු දිනා ගත් කාලිංග මෑත කාලයේ වඩාත්ම ප්‍රගතියක් පෙන්නුම් කළ ක්‍රීඩකයෙක්.

2020 ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ මීටර් 200 ජාතික කිරුළ දිනා ගැනීමට කාලිංග සමත්වූවත්, 2021 මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ එම ඉසව්වේ දී මොහොමඩ් සෆාන් හමුවේ ඔහු පරාජයට පත්වුනා.

කාලිංග කුමාරගේ

නමුත් එම තරගාවලියේ මීටර් 200 ඉසව්ව තත්පර 20.85ක කාලයකින් අවසන් කරමින් පෞද්ගලික හොඳම කාලය වාර්තා කළ කාලිංග මෙම තරගාවලියේ ද මීටර් 200 කිරුළ රැකගැනීමට බොහෝ ඉඩක් තිබෙනවා.

  • මොහොමඩ් සෆාන්

තවමත් 23 වැනි වියේ පසුවන මොහොමඩ් සෆාන් මීටර් 200 ඉසව්වේ ළාබාල වියේ සිටම ඉහළ දස්කම් දැක්වූ දක්ෂ ක්‍රීඩකයෙක්.

2021 ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ මීටර් 200 ඉසව්ව තත්පර 20.81ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්වේ ජාතික ශූර කාලිංග කුමාරගේ පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කරන්නට ඔහු සමත් වුනා.

  • මොහොමඩ් සෆාන්

    විනෝජ් සුරංජය

මෑත කාලයේ එතරම් දස්කම් අතර නොමැති වූවත් මීටර් 200 පිටියේ බිහි වූ සාර්ථකම ක්‍රීඩකයෙක් ලෙස විනෝජ් සුරංජය හැඳින්විය හැකි.

එම ඉසව්ව තත්පර 20.68ක කාලයකින් අවසන් කරමින් එහි ජාතික වාර්තාවට ද හිමිකම් කියන විනෝජ් 2016 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 200 රන් පදක්කම දිනා ගැනීමට ද සමත් වුනා.

  • විනෝජ් සුරංජය

    අරුණ දර්ශන

ශ්‍රී ලාංකීය මලල ක්‍රීඩා පිටියේ වඩාත් කතාබහට ලක්වූ යොවුන් ක්‍රීඩකයෙකු වන අරුණ මීටර් 200 සහ 400 ධාවන පිටියේ ඉහළ දස්කම් දැක්වූ ක්‍රීඩකයෙක්.

මීටර් 200 ඉසව්වේ දකුණු ආසියානු කනිෂ්ඨ රන් පදක්කම් ලාභියෙකු වෙන අරුණ මෙම වසරේ පැවති මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ දී මීටර් 200 ඉසව්ව තත්පර 21.00ක කාලයකින් අවසන් කළේ පෞද්ගලික හොඳම කාලය ද වාර්තා කරමිනුයි.

අරුණ දර්ශන

මෙම ක්‍රීඩකයන්ට අමතරව හිටපු වේගවත්ම දකුණු ආසියානු ක්‍රීඩකයා වූ හිමාෂ ඒෂාන් ද මෙවර මීටර් 200 ඉසව්වට සහභාගී වීමට නියමිත නිසාවෙන් මෙම තරගය ඉතා උණුසුම් වනු ඇත.

පිරිමි මීටර් 800 ඉසව්ව

තරගාවලියේ තවත් අවධානය දිනා ගත් ධාවන ඉසව්වක් වන පිරිමි මීටර් 800 ඉසව්වේ අවසන් තරගය ද සෙනසුරාදා (30) පැවැත්වීමට සැලසුම් කර ඇත.

මෙම ඉසව්ව සඳහා වත්මන් ජාතික ශූර රුසිරු චතුරංග සහභාගී වන නිසාවෙන් එම ඉසව්ව ජයග්‍රහණය කිරීමේ වැඩි ඉඩක් ඔහු සතුයි.

කාන්තා දුර පැනීම

තරගාවලියේ දෙවැනි (31) දිනයේ දී පැවැත්වීමට නියමිත මෙම ඉසව්ව සඳහා තරමක අවධානයක් හිමිව ඇත්තේ කෙටි කලක් ජාතික මලල ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටි ජාතික ශූරී සාරංගි ද සිල්වා සහභාගී වන නිසාවෙනි.

කටාර් රාජ්‍යයේ විශේෂ පුහුණුවකට එක්වීමෙන් අනතුරුව නැවතත් මව්රටට පැමිණි සාරංගි මීට පෙර තුර්කියේ දී පැවති තරගාවලියකට එක්වෙමින් ජාතික වාර්තාව බිඳ හෙළීමට සමත් වුනේ මීටර් 6.44ක දක්ෂතාවයක් පෙන්නුම් කරමිනුයි.

සාරංගි ද සිල්වා

99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දෙවැනි අදියර සඳහා ඉහත ඉසව්වලට අමතරව පහත ඉසව් ද ඇතුළත් වේ.

පළමු දිනය (30 වැනිදා)

  • කාන්තා මීටර් 10,000
  • පිරිමි මීටර් 5,000
  • රිටි පැනීම – පිරිමි
  • කවපෙත්ත විසිකිරීම – කාන්තා
  • තුන් පිම්ම පැනීම -කාන්තා
  • කවපෙත්ත විසිකිරීම – පිරිමි
  • තුන් පිම්ම පැනීම – පිරිමි

දෙවැනි දිනය (31 වැනිදා)

  • පිරිමි මීටර් 10,000
  • කාන්තා මීටර් 5,000
  • රිටි පැනීම – කාන්තා
  • මීටර් 100 කඩුලු පැනීම – කාන්තා
  • යගුලිය දැමීම – පිරිමි
  • මීටර් 3000 බාධක දිවීම – පිරිමි
  • මීටර් 400 කඩුලු පැනීම – කාන්තා
  • මීටර් 400 කඩුලු පැනීම – පිරිමි
  • මිටිය විසිකිරීම – පිරිමි
  • උස පැනීම – පිරිමි
  • යගුලිය දැමීම – කාන්තා
  • මීටර් 1500 – කාන්තා
  • මීටර් 1500 – පිරිමි

99 වැනි ජාතික මලල ක්‍රීඩා උළෙලේ දෙවැනි අදියරේ සියලුම තරග තොරතුරු එසැණින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com අප සමඟ.

>> තවත් මලල ක්රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්රීඩා පිටුවට <<