සහය දිවීමේ වාර්තා අලුත් කළ දෙවැනි දිනය

ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය 2022

225

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 51 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා ශූරතාවයේ දෙවැනි දිනය අවසානයේ දී සහය දිවීමේ තරගාවලි වාර්තා බිඳ දැමීමට සහ මීටර් 200 තරගාවලි වාර්තාවක් සම කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

බාලක වයස අවුරුදු 12න් පහළ 100X4 සහය දිවීම ඉසව්වේ ආධිපත්‍ය පැතිර වූ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය කණ්ඩායම නව තරගාවලි වාර්තාවක් පිහිටවූයේ තත්පර 54.5ක කාලයකින් තරගය අවසන් කරමින්.

එම ඉසව්වේම වයස අවුරුදු 13න් පහළ බාලක තරගය තත්පර 51.4ක කාලයකින් අවසන් කරමින් වෙන්නප්පුව ජෝසප් වාස් ක්‍රීඩකයින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට සමත් වුනා. වයස අවුරුදු 14න් පහළ වාර්තාව ද සිය පාසල සතු කරගැනීමට ජෝසප් වාස් ක්‍රීඩකයින්ට හැකි වුනේ තත්පර 47.8ක කාලයකින් තරගය අවසන් කිරීමට සමත් වෙමින්.

බාලිකා අංශයේ බිඳ වැටුණු පළමු තරගාවලි වාර්තාව සටහන් කරමින් වයස අවුරුදු 15න් පහළ බාලිකා 100X4 තරගය ජයග්‍රහණය කිරීමට අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩිකාවන්ට හැකි වුනා. ඒ තත්පර 51.6ක කාලයකින් තරගය අවසන් කරමින්.

අද දිනයේ සටහන් වූ එකම කේවල තරගාවලි වාර්තාව සිය නාමයට සටහන් කරමින් අවුරුදු 13න් පහළ බාලක මීටර් 200 තරගාවලි වාර්තාව සම කිරීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ක්‍රීඩක වයි. ටී. ජයසූරියට හැකි වුනා.

අවුරුදු 14න් පහළ බාලිකා දුර පැනීමේ ඉසව්ව මීටර් 4.93ක දස්කමක් දක්වමින් ජයග්‍රහණය කිරීමට තණමල්විල විජයපුර කනිෂ්ඨ විද්‍යාලයේ ඒ. සී. දෙව්මිණි සමත් වුනා. එහි වයස අවුරුදු 12න් පහළ බාලිකා ඉසව්ව මීටර් 4.44 දස්කමක් සමඟ ජයග්‍රහණය කළේ වත්තල ශුද්ධ වූ කන්‍යාරාමයේ සෙනුලි මෙත්ලිනි විසින්.

>> දෙවන දිනය අවසානයේ තරග ප්‍රතිඵල <<

තරගාවලියේ තෙවැනි සහ අවසන් දිනය වන හෙට (30) උණුසුම් ඉසව් කිහිපයක්ම පැවැත්වීමට නියමිතයි. එම තරග ඇතුළු සමස්ත තරගාවලියේ තොරතුරු දැනගැනීම සඳහා රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<