දකුණු අප්‍රිකානුවා අත්හළ කුසලානය ඕස්ට්‍රේලියානු දෝතට

Unheard World Cup Stories | Part 11

1696
(AUSTRALIA OUT) Australian cricket captain Steve Waugh, left, and bowler Shane Warne wave to fans in Sydney during a tickertape parade celebrating the Australian cricket team's World Cup win, 28 June 1999. SMH SPORT Picture by CRAIG GOLDING (Photo by Fairfax Media via Getty Images/Fairfax Media via Getty Images via Getty Images)

මේ 2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේ දී ආරම්භ කිරීමට සියල්ල සූදානම් වී තිබෙන මොහොතක්.

මෙවර තරගාවලියේ ආරම්භයට පෙර පහුගිය තරගාවලිවල සිදු වෙච්ච වැඩිය අහලා නැති අපූරු සිදුවීම් කිහිපයක් ඔබ වෙත ගෙන එන්න. මේ ඒ ලිපි මාලාවේ එකොළොස්වැන්නයි.

1996 ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ පරාජය වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම 1999 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් එංගලන්තයට පැමිණියේ වසර තුනකට කලින් තමන් අතින් සිදු වූ වරද නිවැරදි කර ගැනීමේ අභිලාෂයෙන්. නමුත් ඕස්ට්‍රේලියානුවන් හිතූ තරම් ඒ කාරණාව ලෙහෙසි පහසු කටයුත්තක් වුනේ නැහැ.

මූලික වටයේ තරගවල දී ඔවුන් පාකිස්තානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම හමුවේ අනපේක්ෂිත පරාජයන් දෙකක් ලැබුවා.

මේ නොසිතු පරාජයන් දෙක සමඟ ඕස්ට්‍රේලියානුවන් තරගාවලියෙන් ඉවතට විසි වීමේ විශාල අවදානමක් තිබුණා. නමුත් තමන්ට එල්ල වූ අභියෝගයට සහ පීඩනයට සාර්ථකව මුහුණ දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම එවර ලෝක කුසලාන තරගාවලිය තුළ අසීරු ගමනක යෙදෙමින් ලෝක කුසලානය දිනා ගත්තේ හැමදෙනාම මවිත කරමින්.

එමෙන්ම ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලෝක ශූරතාවය දිනා ගැනීමට ඉදිරියෙන්ම සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ගමන නතර කිරීමට මූලිකත්වය ගත්තා.

මෙහි ලියවෙන්නේ 1999 ලෝක කුසලාන තරගාවලිය අතරතුර ඕස්ට්‍රේලියානු කණ්ඩායම සම්බන්ධ අමුතු කතාන්දර කිහිපයක්.

අසාර්ථක ආරම්භයක්

1999 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබා ගත්තේ නැහැ. පාකිස්තානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම හමුවේ ලද පරාජයන් නිසා ඔවුන් සිටියේ දුර්මුඛ වී.

1999 ලෝක කුසලානයට පැමිණි කණ්ඩායම් නායකයින් ලෝක කුසලානය සමඟ සමූහ ඡායාරූපයකට මුහුණ දෙමින්

පාකිස්තානු තරගයෙන් අනතුරුව පැවති කණ්ඩායම් හමුවේ දී අවංකව සහ ඍජුව අදහස් ප්‍රකාශ කරන්නට ක්‍රීඩකයින්ට අවස්ථාව ලැබුණා. 1987 ඉන්දියාවේ දී කවුරුත් බලාපොරොත්තු නොවූ අන්දමින් ඕස්ට්‍රේලියාව ලෝක කුසලානය දිනා ගත් ආකාරය ප්‍රතිනිර්මාණය කරන්නට ඔවුන් එකිනෙකාට පොරොන්දු කරගත්තා. නමුත් ඉන් ඉදිරියට තරගය පරාජය වන්නට ඔවුන්ට අවස්ථාවක් තිබුණේ නැහැ.

මූලික වටයෙන් පසු සුපිරි කණ්ඩායම් හයේ වටයේ දී වෙනස්ම ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් ලෝකයා හමුවේ දැක ගන්න පුළුවන් වුනා.

විනිසුරුවරයා දෙනකල් යන්න එපා!

1999 ලෝක කුසලානයේ සුපිරි කණ්ඩායම් හයේ වටයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරගයට පෙර ප්‍රතිවාදී කණ්ඩායමේ දුර්වලතා අධ්‍යනය කිරීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු පුහුණුකරු ජෙෆ් මාෂ් ක්‍රීඩකයින් අමතා පැවසුවේ අවසාන වශයෙන් කියන්නට යමක් තිබේ නම් පවසන ලෙස.

වහාම අත එසවූ ෂේන් වෝන් මෙසේ පැවසුවා.

“හෙට හර්ෂල් ගිබ්ස් අතට උඩපන්දුවක් එකක් දුන්නොත් එකපාරටම යන්න එපා. විනිසුරුවරුන් දැවී යෑම සංඥා කරන කල් කඩුල්ලේ ඉන්න.”

වෝන් පැවසූ මෙවදන් සෙසු ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් සිනහා සයුරේ ගිල්ලවන්නට සමත් වුනා.

“කටවහපන් වෝනි!”

ඇතමෙකු ඔලොක්කුවට මෙන් පැවසුවා.

“නෑ. මිනිහා බෝලේ අල්ලලා නිකන්ම උඩ දානවා. පොඩ්ඩක් කල්පනාවෙන්.”

වෝන් ලෙහෙසියෙන් අතාරින්නට සූදානම් වුනේ නැහැ.

පසුදින ෂේන් වෝන් කියූ පරිද්දෙන්ම ස්ටීව් වෝ ලබාදුන් පහසු උඩපන්දුවක් හර්ෂල් ගිබ්ස් අතින් අතහැරී ගියා. එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් ඕස්ට්‍රේලියානු නායකයා නොදැවී ශතකයක් රැස් කරමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියා.

“ඒක වැදුණේ හර්ෂල්ගේ අතේ වැරදි තැනක.”

හර්ෂල් ගිබ්ස් අතින් උඩපන්දුව ගිලිහී ගිය අන්දම

දකුණු අප්‍රිකානු නායක හැන්සි ක්‍රෝන්යේ තරගයෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ පැවසුවා.

“අපි වගේම හැන්සිත් දැනගෙන හිටියා මිනිහා කලබලේට බෝලේ උඩ දාන්න ගිහින් වැඩේ වරද්දාගත්තා කියලා”

ෂේන් වෝන් පසුකලෙක සිය චරිතාපදානයේ ලියා තැබුවා.

අපි ගොඩක් අයගේ අන්තිම තරගය මේක වෙන්න පුළුවන්

සුපිරි හය වටයේ අනගි දස්කම් දැක්වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටියා.

දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ ට්‍රෙන්ට් බ්‍රිජ් ක්‍රීඩාංගණයේ ලෝක කුසලාන අවසාන පූර්ව තරගයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සිත් සේ ලකුණු රැස් කරන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම ඉඩකඩ ලබා දුන්නේ නැහැ.

පන්දුවාර 49.2ක් ඇතුළත සියලු දෙනා දැවී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලබාගත හැකි වුනේ ලකුණු 213ක් පමණි. ඕස්ට්‍රේලියානු ඉනිමට සවියක් වෙමින් මයිකල් බෙවන් සහ ස්ටීව් වෝ අර්ධ ශතක රැස් කිරීමට සමත් වුනා. පන්දු යැවීමේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් කඩුලු හතරක් දවා ගන්නට ඇලන් ඩොනල්ඩ් සමත් වුනා

ලකුණු 213 ඉලක්කයක් ආරක්ෂා කරගන්නට පිටියට පිවිසෙන්නට යන ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ෂේන් වෝන්ගෙන් තවත් විශේෂ පණිවිඩයක් ලැබුණා.

“කොල්ලනේ, මේ මැච් එක පැරදුනොත් අපි කිහිපදෙනෙක් ක්‍රීඩා කරන අවසාන ජාත්‍යන්තර තරගය මේක වෙන්න පුළුවන්. එහෙම නොවෙන තැනට වැඩ බලා ගමු.”

එදා ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කළ පසුව ලෝක කුසලාන දෙකක් දිනා ගන්නට ඕස්ට්‍රේලියානුවන්ට මග පෙන්වූ රිකී පොන්ටිං ඔහුගේ චරිතාපදානයේ වෝන් කී දෙය ගැන පැවසුවේ මෙවැන්නක්.

“වෝනි කියපු දේ ටිකක් පුදුම සහගතයි කියලා මට හිතුණා. ඒ වෙද්දී වෝනි එක්දින තරග රටාවේ එයාගේ සමුගැනීම ගැන අවස්ථා කිහිපයක දී ම ඉඟි කරලා තිබුණා. එදා අපි පැරදුණා නම් ගොඩාක් දුරට ඒක ෂේන් වෝන් ක්‍රීඩා කරපු අන්තිම එක්දින තරගය වෙන්න තිබුණා.”

ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලබා දුන් ඉලක්කය හඹා යන්නට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබාගත්තා. නමුත් තමන් සතු හොඳම තුරුම්පුව ෂේන් වෝන් ඉක්මනින්ම පන්දුකරණයට කැඳවන්නට ඕස්ට්‍රේලියානු නායකයා තීරණය කළා.

වැඩි වෙලාවක් යන්නට හර්ෂල් ගිබ්ස්, ගැරී කර්ස්ටන් සහ නායක හැන්සි ක්‍රෝන්යේගේ ඉරණම තීරණය කරන්නට වෝන්ට හැකියාව ලැබුණා. තරගය පුරාවටම ලකුණු 29කට කඩුලු හතරක් දවා ගන්නට වෝන්ට හැකියාව ලැබුණා.

මේ තරගය ලකුණු සමව නිමාව දුටුවත් අවසන් මහා තරගයේ ස්ථානයක් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට දිනා දෙන්නට එය ප්‍රමාණවත් වී තිබුණා.

අවසන් පන්දුවාරය තුළ ජයග්‍රහණය සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලකුණු 9ක් අවශ්‍ය වුන මොහොතේ මුල් පන්දු 2ක තුළ ලාන්ස් ක්ලූස්නර් හතරේ පහර 2ක් එල්ල කරමින් ලකුණු තත්ත්වය සම කළා.

නමුත් අවාසනාවන්ත ආකාරයට හතරවැනි පන්දුවේ දී ඩොනල්ඩ් දුවද්දී දැවී යාම නිසා තරගය ලකුණු සමවුණු තරගයක් ලෙසින්ම නිමා වුනා. එලෙස ජය පැරදුමෙන් තොරව තරගය නිමා වුනත්, සුපිරි කණ්ඩායම් හය වටයේ දකුණු අප්‍රිකානුවන් හමුවේ ඕස්ට්‍රේලියානුවන් ලද ජයග්‍රහණය නිසා ඔවුන් අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවා.

“තරගය නිමා වෙලා එන අතරේ වෙච්ච දේ ගැන අපි කාටවත් අදහසක් තිබුණේ නැහැ. ඔවුන් අවසන් තරගයට ගියා ද, අපි අවසන් තරගයට ගියා ද අපිට අදහසක් තිබුණේ නැහැ,” පොන්ටිං තවදුරටත් පැවසුවා.

ඇලන් ඩොනල්ඩ්ගේ දුවද්දී දැවී යෑම ඕස්ට්‍රේලියානුවන්ට ලෝක කුසලාන අවසන් තරගයක ඉඩක් වෙන් කර දුන්නා.

ජාතික නිවාඩු දිනයක්!

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ අවසන් මහා තරගයට අනෙක් පසින් එක්ව සිටියේ පාකිස්තානු කණ්ඩායම.

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානු නායක වසීම් අක්‍රම් මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළා. කාසියේ වාසිය උරගා බැලීමත් සමඟ ලෝඩ්ස් ක්‍රීඩාංගණයට හදිසියේම ඇද වැටුණ මද වර්ෂාව තණතීරුව සම්පූර්ණයෙන්ම වෙනස් කළ බවක් පෙනෙන්නට තිබුණා.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ අනර්ඝ පන්දු යැවීම සහ පන්දු රැකීම හේතුවෙන් පාකිස්තානු ඉනිම ලකුණු 132කට සීමා වුනා.

අවසන් පූර්ව තරගයේ දී කළ පරිද්දෙන්ම පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ ෂේන් වෝන් ලකුණු 33කට කඩුලු හතරක් දවා ගත්තා.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සුබ පතන්නට මෙල්බර්න් නුවරට එක්වූ විශාල ජනගඟ

ලකුණු 133ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානුවන් පන්දුවාර 20.1ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී තිබිය ලෝක ශූරයන් බවට පත්වුනා. මෙම ජයග්‍රහණය නිසා ඕස්ට්‍රේලියානුවන් කොතරම් උද්දාමයට පත්වුනා ද කියතහොත් ජාතික නිවාඩු දිනයක් පවා ප්‍රකාශ කරන්නට එරට අගමැතිවරයා තීරණය කළා.

තවත් කතාවක් සමඟ නැවත හමුවෙමු.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<