ටෙස්ට් ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට

ටෙස්ට් ලෝක ශූරතාවය 2021 -23

240
Australia crowned ICC World Test Champions

ඉන්දියාව ලකුණු 209කින් පරාජය කරමින් 2021-23 ටෙස්ට් ලෝක ශූරතා කිරුළ ජයග්‍රහණය කරන්නට ඕස්ට්‍රේලියාව ඊයේ (11) සමත් වුනා.

Travis Head සහ Steve Smith වාර්තා කළ ශතකවලින් තරගයේ වැඩි ගෞරවය දිනා ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වූ අතර තරගය ජයග්‍රහණය කිරීමට නම් ඉන්දියාවට වාර්තාගත හඹා යෑමක් සිදු කිරීමට අවශ්‍ය වුනා. නමුත් ඔවුන්ගේ දෙවැනි ඉනිම ලකුණු 234කට සීමා කිරීමට ඕස්ට්‍රේලියා පන්දු යවන්නන් සමත් වුනා.

තරගයේ පස්වැනි දිනය ආරම්භ කරන විට ඉන්දීය ක්‍රීඩකයින්ට ජයග්‍රහණය සඳහා ලකුණු 280ක් ලබා ගැනීමට සිදුව තිබූ අතර සුපිරි ක්‍රීඩක Virat Kohli සහ Ajinkya Rahane ඉතා හොඳින් පන්දුවට පහර දෙමින් සිටියා.

අවසන් දිනයේ පළමු පැය තුළ ඉන්දීය බලාපොරොත්තු සුන් කළ Scott Boland ලකුණු 49ක් ලබා සිටි Kohli දවා ගැනීමට සමත් වුනේ Steve Smith රැක ගත් අගනා උඩ පන්දුව නිසයි.

එම පන්දුවාරයේ ම ක්‍රියාත්මක වූ Boland තුන් ඉරියව් ක්‍රීඩක Ravindra Jadeja ලකුණු නොලබා පිටියෙන් ඉවත් කිරීමට සමත් වූ අතර ඉන්දීය කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ Rahane දවා ගැනීමට Mitchell Starcට හැකි වුනේ තරගයේ වැඩි වාසි ඕස්ට්‍රේලියාවට දිනා දෙමිනුයි.

ඒ සමඟ ඉන්දීය ඉනිම ලකුණු 234කට සීමා කරමින් ඕස්ට්‍රේලියා කුසලාන ගොන්නට මෙතෙක් අඩු පාඩුවක් ව පැවති ලෝක ටෙස්ට් ශූරතාවයක් ජයග්‍රහණය කරමින් ශූරතා ගොන්න සම්පූර්ණ කිරීමට ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින් සමත් වුනා.

දෙවැනි ඉනිමේ අවසන් භාගයේ කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ Mitchell Starc ලකුණු 41කට කඩුලු 4ක් දවා ගත්තා.

ඕස්ට්‍රේලියාව මෙවර ටෙස්ට් ලෝක ශූරතාවය තුළ සහභාගී වූ තරග 19න් 11ක් ජයග්‍රහණය කරමින් පළමු ස්ථානයෙන් අවසන් මහා තරගයට පිවිසි අතර අවසන් මොහොතේ දෙවැනි ස්ථානය තහවුරු කර ගනිමින් ඉන්දියාව අවසන් මහා තරගයට පිවිසියා.

මෙවර තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වීමට Nathan Lyonට හැකි වූ අතර වැඩිම ලකුණු ලාභියා වීමට එංගලන්ත ක්‍රීඩක Joe Rootට හැකි වුනා.

තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් හය දෙනා අතර ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් හතර දෙනෙක් සිටින අතර ඕස්ට්‍රේලියා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වන Usman Khawaja තරගාවලිය පුරාවට ලකුණු 1621ක් ලබා ගත්තා.

ඔහුට අමතරව Marnus Labuschagne ලකුණු 1576ක් ලබා ගැනීමට සමත් වූ අතර Travis Head සහ Steve Smith පිළිවෙළින් ලකුණු 1407ක් සහ 1389ක් ලබා ගැනීමට සමත් ව තිබුණා.

මෙම පරාජයත් සමඟ ඉන්දියාව නොකඩවා පරාජය වූ දෙවැනි ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය මෙය වූ අතර ඔවුන් අවසන් වරට ICC කුසලානයක් දිනා ගැනීමට සමත් ව ඇත්තේ වසර 10කට පෙර වීම ද විශේෂත්වයක්.

දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<