පාකිස්තාන සංචාරයේ ශ්‍රී ලංකා තුරුම්පු!

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන සංචාරය 2022

512

2005 වසරට පසු පළමු වතාවට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් පාකිස්තානයේ සංචාරයක නිරත වීමට සූදානමින් සිටිනවා.

මැයි 24 වැනිදා ආරම්භ වීමට නියමිත තරගාවලිය එළඹෙන ජුනි 5 වැනිදා දක්වා ක්‍රියාත්මක අතර ඔවුන් එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එක්දින තරග 3ක් හා විස්සයි විස්ස තරග 3ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

මේ එම තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩයමේ සිටින ප්‍රබලතම ක්‍රීඩිකාවන් 5 දෙනෙක්!

චමරි අතපත්තු – ආරම්භක පිතිකාරිණි / පිට දඟපන්දු

කාන්තා ක්‍රිකට් කියූ සැණින් මතකයට එන චමරි අතපත්තු මෙවර තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම තුරුම්පුවයි. එක්දින තරගවල ලකුණු 31.62ක සාමාන්‍යයක් රඳවා ගෙන සිටින ඇය විස්සයි විස්ස තරගවල ලකුණු 21.70ක සාමාන්‍යයක් රඳවා ගෙන සිටිනවා.

වමතින් පන්දුවට පහර දෙන ඇය පසුගිය දිනවල පැවැත්වුණු FairBreak ආරාධිත විස්සයි විස්ස තරගාවලියේ දී තරගාවලියේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත් වුනේ තරග 7ක දී ලකුණු 300 සීමාව ද ඉක්මවා යමිනුයි.

හර්ශිතා සමරවික්‍රම – ඉදිරිපෙළ පිතිකාරිණි / මද වේගපන්දු

කණ්ඩායමේ උප නායිකාව ලෙස චමරිට සහය දෙන හර්ශිතා දැවැන්ත පහරවල් වෙනුවට කල් මැන ඉඩකඩ සහිත කලාපවලට පහසුවෙන් පහර එල්ල කරමින් ලකුණු රැස් කරන ක්‍රීඩිකාවක් ලෙස හැඳින්විය හැකියි.

පසුගිය වසර දෙකේ දී කැපී පෙනෙන දස්කම් දැක්වූ ඇය ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් තරගාවලිය වූ පොදුරාජ්‍ය මණ්ඩලීය සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී ඉතා ඉහළ දස්කම් දක්වන්නට සමත් වුනා.

චමරි අතපත්තුට පමණක් දෙවැනි වුණු ඇය එම තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර දෙවැනි ස්ථානයේ රැඳෙමින් පන්දුවට පහර දීමේ වේගය 130ක් ලෙස රඳවා ගෙන තිබුණා.

කවීෂා දිල්හාරි – පිට දඟපන්දු / මැදපෙළ පිතිකාරිණි

ප්‍රබල ඉන්දියාවට එරෙහිව ලකුණු 253ක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 7ක් දැවී ගොස් තිබිය දී පිටියට පැමිණ අවසන් පන්දු දෙකේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ගෙන 17 හැවිරිදි කවීෂා දිල්හාරි මෙවර කණ්ඩායමේ ප්‍රබල තුරුම්පුවක්.

පන්දු යවන්නියක් ලෙස කණ්ඩායමේ ක්‍රීඩා කළත්, පිතිකාරිණියක් ලෙස ද දස්කම් දක්වන ඇය නිමා වූ දේශීය පන්දුවාර 50 තරගාවලියේ දී වැඩිම ලකුණු ලාභි ක්‍රීඩිකාව මෙන්ම වැඩිම කඩුලු දවා ගත් ක්‍රීඩිකාවන් අතර තෙවැනි ස්ථානය ද දිනා ගත්තා.

නිලක්ෂි ද සිල්වා – මැදපෙළ පිතිකාරිණි / මද වේගපන්දු

ටික කාලයක් ජාතික කණ්ඩායමෙන් ඉවත්ව සිටියත්, පසුගිය වසරේ දී නැවතත් ජාතික කණ්ඩායමේ අසුනක් වෙන් කර ගත් නිලක්ෂි කණ්ඩායමේ මැදපෙළ සවිමත් කරනවා.

අවසන් පන්දුවාරවල වේගයෙන් පන්දුවට පහර දෙන ඇය මෙවර කණ්ඩායමේ ප්‍රධානතම අවියක්. ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක මැද හා අවසන් පන්දුවාර කිහිපයේ සෙමෙන් පන්දුවට පහර දීමට හුරුව සිටින බැවින් එම හුරුව වෙනස් කිරීම නිලක්ෂිගේ ප්‍රධානතම වගකීමක් වනු ඇත.

සචිනි නිසංසලා – වමත් දඟපන්දු / පසුපෙළ පිතිකාරිණි

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවතම යොවුන් තරුව වන සචිනි නිසංසලා නිමා වූ පොදු රාජ්‍ය මණ්ඩලීය තේරීම් තරගාවලියේ දී සිය මංගල තරගය ක්‍රීඩා කළා.

එතරම් කඩුලු දවා ගැනීමට නොහැකි වුනත්, තරග හතරක දී ලකුණු 4.6ක ලකුණු ලබා දීමේ වේගයක් පමණක් ලබා දෙමින් ඇය ප්‍රතිවාදීන් මර්දනය කරන්නට සමත් වුනා.

පන්දු රැකීමේ දී ඉහළ දස්කම් දැක්වූ ඇය හා දිල්හාරි නියෝජනය කරන්නේ එකම ක්‍රීඩා සමාජය වීම විශේෂත්වයක්. දිල්හාරිට පසුපසින් වැඩිම කඩුලු ලාභී ක්‍රීඩිකාවන් අතර රැඳුණු ඇය තරග 7ක දී කඩුලු 16ක් දවාගෙන තිබුණා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<