කාර්තික් පැතූ වෙනස ඉටුවෙමින්

4346
Dinesh-Karthik
Sports Cafe

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව ඉන්දීය ජාතික කණ්ඩායමේ ස්ථානය අහිමි වූ දිනේෂ් කාර්තික් හට නැවතත් ඉන්දියානු ජාතික කණ්ඩායම වෙත කැඳවීමක් ලැබී තිබෙනවා.

36 හැවිරිදි කාර්තික් පවසන්නේ එය තම ක්‍රිකට් දිවියේ වඩාත් විශේෂ “නැවත කැඳවීම” එය බවයි.

එළඹෙන ඉන්දියා – දකුණු අප්‍රිකා විස්සයි-විස්ස තරගාවලිය සඳහා ඔහුව ඉන්දියානු සංචිතයට ඇතුළත්ව තිබෙනවා. තෙවසරක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත් කොට තිබූ කාර්තික් නැවත ජාතික කණ්ඩායමේ ස්ථානයක් දිනා ගැනීම සඳහා නව චරිතයකට පණ පොවමින් සිටියා. ඒ තරග අවසන් කරන්නාගේ රාජකාරියට හැඩ ගැසෙමින්.

>> කියවන්න – IPL 2022හි “කාර්තිකාගමනය”

2022 IPL තරගාවලියේ දී Royal Challengers Bangalore (රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්) කණ්ඩායම වෙනුවෙන් “ඉනිම අවසන් කරන්නා” ලෙස ක්‍රීඩා කළ කාර්තික් අති සාර්ථක වුනා. ඒ 191.33ක ප්‍රහාරක වේගයක් සනිටුහන් කරගනිමින්. ඔහුගේ කණ්ඩායම මේ වන විට IPL තරග වාරයේ අවසන් කණ්ඩායම් 4ට ද තේරී පත්වී අවසන්.

Twitter මඟින් අදහස් දක්වමින් කාර්තික් පවසා තිබෙන්නේ,

ඉතාම සතුටුයි. ඉතාම සැනසිලිදායකයි. මෙය මගේ වඩාත්ම විශේෂ යළි කැඳවීම බව කිවයුතුයි. මොකද, ගොඩක් දෙනා මාව අත ඇරලයි තිබුණේ”, යනුවෙන්.

මහේන්ද්‍ර සිං දෝනිගේ විශ්‍රාම ගැනීමෙන් පසුව ටෙස්ට් රටාව සඳහා රිශාබ් පන්ට් හොඳින් හැඩගැසී තිබුනත්, ඉන්දියානු සීමිත පන්දුවාර කණ්ඩායමේ තරග අවසන් කරන්නා ලෙස ඔහු ලබාගෙන ඇති විශ්වාසය ප්‍රමාණවත් නැහැ. කෙසේ වෙතත් ඔහු වේගවත් පිතිකරුවෙක්.

එහෙත් දිනේෂ් කාර්තික් සතු අත්දැකීම් සමඟින් ඔහුට තරග අවසන් කිරීමේ කාර්යය කළ හැකි බව ඔහු 2022 IPL තරගාවලියේ දී ඔප්පු කළා. ඒ වෙනුවෙන් ඔහු විශාල කැපවීමකින් පුහුණු වූ බවයි කාර්තික් පවසන්නේ. එමෙන්ම තවත් සතියකින් 37 වැනි වියට පා තබන ඔහු ගැන විශ්වාස කිරීම පිළිබඳ ඉන්දියානු තේරීම් බලධාරීන්ට ස්තුතිය පිළිගන්වන්නට ද කාර්තික් අමතක කළේ නැහැ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<