දෙවැනි ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් දෙකක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය 2022

897

සංචාරක ශ්‍රී ලංකාව සහ සත්කාරක බංග්ලාදේශය අතර හෙට (23) ආරම්භ වීමට නියමිත දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා සංචිතය අද (22) නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කෙරුණා.

ඒ අනුව දෙරට අතර පසුගිය දා Chattogram හි දී ජය පරාජයෙන් තොරව නිමාව දුටු තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා.

ඒ අනුව වමතින් දඟපන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය වෙනුවට වමතින් දඟපන්දු යවන ප්‍රවීන් ජයවික්‍රම කණ්ඩායමට කැඳවා තිබෙනවා. තව ද පළමු තරගයේ පිතිකරණයේ නිරතව සිටිය දී පන්දුවක් හිස් ආවරණයේ වැදී කම්පන තත්වයකට ගොදුරු වුනු වමතින් වේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු දෙවැනි ටෙස්ට් තරගය සඳහා නම් කර නොමැත.

ඒ වෙනුවට පළමු තරගයේ දී ප්‍රනාන්දුගේ ආදේශක ක්‍රීඩකයා ලෙස ක්‍රීඩා කරමින් කඩුලු 4ක් දවා ගත් දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත මේ තරගයට ක්‍රීඩා කරනවා.

2021- 2023 ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ තරගාවලියක් වන මෙහි තීරණාත්මක දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය හෙට (23) මෙරට වේලාවෙන් පෙරවරු 9.30ට Dhaka හිදී ආරම්භ වීමට නියමිතයි.

පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව නිමා වූ බැවින් මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට තරගාවලියේ ජය හිමි වෙනවා.

දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායම –දිමුත් කරුණාරත්න (නායක), ඕෂඳ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, රමේෂ් මෙන්ඩිස්, ප්‍රවීන් ජයවික්‍රම, අසිත ප්‍රනාන්දු, කසුන් රාජිත.

එහි තොරතුරු ද ඔබ වෙත සමීප කිරීමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<