බංග්ලාදේශය ශ්‍රී ලංකාවේ සතුට උඳුරා ගනී

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය 2022

641

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (23) Dhaka හිදී ආරම්භ වුනා. පළමු දිනයේ නිමාව සටහන් වන විට බංග්ලාදේශය කඩුලු 5ක් දැවී ලකුණු 277ක් ලබාගෙන සිටියා.

මේ තරගයේ දී ශ්‍රී ලංකා වමතින් දඟපන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය වෙනුවට වමතින් දඟපන්දු යවන ප්‍රවීන් ජයවික්‍රම කණ්ඩායමට කැඳවා තිබෙනවා. තව ද පළමු තරගයේ පිතිකරණයේ නිරතව සිටිය දී පන්දුවක් හිස් ආවරණයේ වැදී කම්පන තත්වයකට ගොදුරු වුනු වමතින් වේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු දෙවැනි ටෙස්ට් තරගය සඳහා නම් කර නැහැ.

පළමු තරගයේ දී ප්‍රනාන්දුගේ ආදේශක ක්‍රීඩකයා ලෙස ක්‍රීඩා කරමින් කඩුලු 4ක් දවා ගත් දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත මේ තරගයට ක්‍රීඩා කළා.

එසේම බංග්ලාදේශය ද වෙනස්කම් දෙකක් සිදු කරමින් ආබාධවලට ලක්වුණු වේගපන්දු යවන ක්‍රීඩක Shoriful Islam සහ Nayeem Hasan වෙනුවට Mosaddek Hossain සහ වේගපන්දු යවන ක්‍රීඩක Ebadot Hossain කණ්ඩායමට කැඳවා තිබුණා.

දෙවැනි ටෙස්ට් තරගයට තරග වදිනු ලබන කණ්ඩායම්:

  • ශ්‍රී ලංකාව – දිමුත් කරුණාරත්න (නායක), ඕෂඳ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, රමේෂ් මෙන්ඩිස්, ප්‍රවීන් ජයවික්‍රම, අසිත ප්‍රනාන්දු, කසුන් රාජිත.
  • බංග්ලාදේශය – Tamim Iqbal, Mahmudul Hasan Joy, Najmul Hossain Shanto, Mominul Haque(c), Mushfiqur Rahim, Litton Das(w), Shakib Al Hasan, Mosaddek Hossain, Taijul Islam, Khaled Ahmed, Ebadot Hossain

කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. එක් සැසියක පන්දුවාර 7ක් ඇතුළත බංග්ලාදේශ කඩුලු 5ක් බිඳ වැටුණු දෙවැනි අවස්ථාව මෙය වන අතර ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් දෙදෙනා වන කසුන් රාජිත සහ අසිත ප්‍රනාන්දු දක්ෂ පන්දු යැවීමක නිරත වුනා.

පළමු ටෙස්ට් තරගයේ දී ශතක සබඳතාවයක් ගොඩනැංවූ Mahmudul Hasan Joy සහ පළමු තරගයේ ශතකලාභී Tamim Iqbal ලකුණු ලබා ගැනීමටත් පෙර පිටියෙන් ඉවත් කිරීමට රාජිත සහ අසිත සමත් වුනා.

ඉන් අනතුරුව බංග්ලාදේශ මුල්පෙළ පිතිකරුවන් යම් ස්ථාවරත්වයක් ගොඩනංවා ගැනීමට වෑයම් කළත්, රාජිත සහ අසිත අභියෝගාත්මක ලෙස යොමු කළ පන්දු යැවීම නිසා එය අසාර්ථක වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස නායක Mominul Haque ලකුණු 9කට සහ Najmul Hossain Shanto ලකුණු 8කට දවා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.

අනතුරුව පිටියට පැමිණි ඔවුන්ගේ අත්දැකීම් බහුලතම ක්‍රීඩකයෙක් වන Shakib Al Hasan ඔහු මුහුණ දුන් පළමු පන්දුවෙන්ම කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුකරගෙන දවා ගැනීමට රාජිත සමත් වුනේ බංග්ලාදේශ පළමු කඩුලු 5 ලකුණු 24ක් තුල දවාගෙනයි.

පිතිකරුවන්ට තරමක් හිතකර මේ තණතීරුව මත ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් පෑ වික්‍රමය නිසා බංග්ලාදේශ පළමු ඉනිම විශාල කඩා වැටීමකට ලක්වුනා.

බංග්ලාදේශය එවැනි අසීරු පසුබිමක සිටිය දී 6 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වුණු කඩුලු රකින පිතිකරුවන් වන Mushfiqur Rahim (115*) සහ Litton Das (135*) ලකුණු 253*ක සුපිරි ගණයේ නොබිදුනු සබඳතාවයක් ගොඩනංවමින් බංග්ලාදේශ පළමු ඉනිමට යම් ස්ථාවරත්වයක් ලබා දී තිබෙනවා.

එය බංග්ලාදේශ ක්‍රීඩකයින් දෙදෙනෙක් අතර 6 වැනි කඩුල්ල වෙනුවෙන් ටෙස්ට් ඉනිමක් තුල මේ දක්වා ගොඩනැංවි තිබෙන හොඳම සබඳතාවය ලෙස වාර්තා පොත් අලුත් කළා.

පළමු තරගයේ දී ද මේ පිතිකරුවන් දෙදෙනා ශ්‍රී ලංකාවට විශාල හිසරදයක් වුනු අතර ඒ තරගයේ දී ශතකයක් ලබා ගත් Rahim මේ තරගයේ දී ද ශතකයක් ලබාගත්තේ නොකඩවා ටෙස්ට් ශතක දෙකක් ලබා ගෙනයි.

4 පහර 13කින් වර්ණවත් වී තිබෙන ඔහුගේ මේ ලකුණු 115* සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය තුල ලබා ගත් 9 වැනි ශතකයයි. සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබා ගත් තෙවැනි ශතකය වාර්තා කර ගත් Das 4 පහර 16ක් සහ එක් 6 පහරක් සමඟ නොදැවී ලකුණු 135*ක් ලබාගෙන සිය හොඳම ටෙස්ට් ඉනිම දියත් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා.

පළමු දිනය නිමා වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු 3ක් දවා ගැනීමට රාජිත සමත් වුනු අතර ඔහුට සහාය වුනු ප්‍රනාන්දු කඩුලු 2ක් දවා ගැනීමට සමත්ව තිබෙනවා.

ඒ අනුව දිනයේ පළමු තරග කාලසමය (පළමු පන්දුවාර 7) තුල දැවී ගිය කඩුලු 5 හැරෙන්නට අනෙක් තරග කාලසමයන් දෙක තුල එකඳු හෝ කඩුල්ලක් දවා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාවක් ලැබුණේ නැහැ.

එසේම මේ තරගය අතරතුර ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ගේ පපුවේ හට ගත් යම් වේදනාවක් නිසා ඔහුව රෝහල් ගත කෙරුණු අතර ඔහු මේ වන විට ඉතාමත් හොඳ යහපත් සෞඛ්‍ය තත්වයකින් පසුවෙන බව ද දැනගන්නට ලැබෙනවා.

බංග්ලාදේශ පළමු ඉනිම (පළමු දිනය අවසානයේ දී) – 277/5 (85): Litton Das 135*, Mushfiqur Rahim 115*, කසුන් රාජිත 3/43, අසිත ප්‍රනාන්දු 2/80.

තරගයේ දෙවන දිනය හෙට (24)යි. තරගාවලියේ සියලුම තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<