චමරිට කාන්තා T20 තරගාවලියක් මගහැරේ

1740

ශ්‍රී ලංකා සහ පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර මෙම මාසයේ දී ආරම්භ වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලිය නිසාවෙන් චමරි අතපත්තු හට ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත කාන්තා T20 Challenge තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමිව තිබෙනවා.

චමරි අතපත්තු විසින් එම අවස්ථාව අහිමි වීම පිළිබඳව සටහනක් තබමින් ඒ ගැන තහවුරු කර තිබුණා.

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට සමගාමීව පැවැත්වෙන මෙම කාන්තා T20 Challenge තරගාවලිය Supernovas, Trailblazers සහ Velocity යන කණ්ඩායම් ත්‍රිත්වයේ සහභාගීත්වයෙන් පැවැත්වෙන අතර පසුගිය වසරේ දී ද ඇය මෙම තරගාවලියට ක්‍රීඩා කළා.

තරගාවලියේ මෙවර අදියර මෙම මස 23 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළ අතර එම කාලසීමාවේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පාකිස්තානයේ සංචාරයක නිරත වන නිසාවෙන් චමරි අතපත්තු හට මෙවර T20 Challenge තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වන්නේ නැහැ.

මෑත කාලයේ විස්සයි විස්ස පිටියේ කැපී පෙනෙන දස්කම් දක්වන ක්‍රීඩිකාවක් වන චමරි අතපත්තු නිමා වූ FairBreak ලීග් තරගාවලියේ දී තරග 7ක් තුළ ලකුණු 313ක් රැස් කරමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභි ක්‍රීඩිකාව බවට පත්වුනා.

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ සත්කාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලිය මෙම මස 24 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<