විජිතයෙන් මලල කෙළිබිමට පිදෙන සමාධිය

750

පසුගිය දා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී නිමා වූ 51 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දක්ෂතම මලල ක්‍රීඩිකාව ලෙසින් සම්මාන දිනා ගැනීමට දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයේ නේත්‍රා සමාධි සමත් වුනා.

තවමත් 14 වැනි වියේ පසුවන සමාධි මේ දක්ෂතාව කරන්නේ නිමා වූ තරගාවලියේ වයස අවුරුදු 16න් පහළ බාලිකා උස පැනීමේ ඉසව්වට සහභාගී වෙමින් වීම විශේෂත්වයක්. ඇය එහි දී මීටර් 1.68ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කම දිනා ගන්නා අතර එය මෙම වයස් කාණ්ඩයේ නව තරග වාර්තාවක් මෙන් ම ඇය පෞද්ගලිකව දැක්වූ ඉහළ ම දක්ෂතාවය ද වුනා.

ගොඩක් සතුටු වෙනවා එච්චර උසක් පනින්න ලැබීම ගැන. මේ දක්වා මම දැක්වූ ඉහළ ම දක්ෂතාවය. තරගයට එක් වෙන්න කලින් සිට ම ජයග්‍රහණය කරන්න පුළුවන් කියන හැඟීම තිබුණා. ඒත් මේ තරම් හොඳින් තරගය නිමා කරන්න ලැබෙයි කියල හිතුවේ නැහැ. ගොඩාක් සතුටුයි,” නේත්‍රා සමාධි ThePapare.com සමඟ එක් වෙමින් පැවසුවා.

සමාධි ක්‍රීඩාවට පිවිසින්නේ දික්වැල්ල මෙතෝදිස්ත කනිෂ්ඨ විද්‍යාලයෙන්. ඒ වෙද්දී ඇය ඉගනුම ලබා ඇත්තේ 4 වැනි ශ්‍රේණියේ.

පාසලේ නිවාසාන්තර තරගවලට කුඩා දවස්වල සිට ම සහභාගී වුනා. මිස්ල සර්ල කිව්ව ඉසව්වලට තමයි සහභාගී වුනේ. එතැන දී ජගත් කියන සර් මාව කීර්ති සර් ළඟට යැව්වා. කීර්ති සර් තමයි මාව මේ තත්ත්වයට ගෙනාවේ. මුලින් ම එක ඉසව්වකට පුහුණු කළේ නැහැ. විවිධ ක්‍රියාකාරකම් කෙරෙව්වා. පස්සෙ තමයි මාව උස පැනීමේ ඉසව්වට සුදුසුයි කියලා තීරණය කළේ,” තම ක්‍රීඩා ජීවිතය පිළිබඳ ව අප ඉදිරියේ දිග හරින්නට සූදානම් වෙමින් සමාධි පැවසුවා.

පාසල් පිටියේ දක්ෂතා දැක්වූ සමාධි එම අවුරුද්දේ ම වයස අවුරුදු 12න් පහළ උස පැනීමේ ඉසව්වෙන් මාතර දිස්ත්‍රික් තරගාවලියට සහභාගී වෙනවා. එහි දී ඇයගේ දක්ෂතාවට හිමි වෙන්නේ සිව්වැනි ස්ථානය.

මේ දක්ෂතාත් සමගින් ඇය මෙතෝදිස්ත කනිෂ්ඨ විද්‍යාලයෙන් දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයට සංක්‍රමණය වෙනවා. ඒ ක්‍රීඩාවට පැවති අතිශය ආසාව නිසා.

ඒ වෙද්දී මම උස පැනීමේ ක්‍රීඩාවට විශාල කැමැත්තක් දැක්වූවා. ඒ වගේ ම දක්ෂතා දැක්වූවා. මේ නිසා මට මෙතෝදිස්ත කනිෂ්ඨ විද්‍යාලයෙන් විජිත විද්‍යාලයට එන්න ලැබෙනවා. එහෙම ආපු මම ඊට පස්සේ මම සහභාගී වූ සෑම වයස් කාණ්ඩ ඉසව්වක දී ම පළාත් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව වීමට සමත් වුනා. 2017 වසරේ සිට 2019 වසර දක්වා පිට පිට ම වසර තුනක් එහෙම ජයග්‍රහණය කළ මම ඊට පසුව පැවති 2022 තරගාවලියේ ද දක්ෂතම ක්‍රීඩිකාව වුනා. ඒ සෑම වසරක ම වයස් කාණ්ඩ වාර්තාවන් තබමිනුයි මම තරග අවසන් කළේ.”

ඇය පළමු වරට උස පැනීමේ ඉසව්වේ ජාතික පාසල් ක්‍රීඩා වාර්තාවකට හිමිකම් කියන්නේ 2019 වසරේ දී. වයස අවුරුදු 12න් පහළ වයස් කාණ්ඩයෙන් තරග පිටියට පිවිසි ඇය මීටර් 1.41ක දක්ෂතාවක් දැක්වීමට එහි දී සමත් වෙනවා.

ඉන් අනතුරුව ඇයට වසර 2ක් ක්‍රීඩා පිටියේ තම දක්ෂතා උරගා බැලීමට හැකි වෙන්නේ නැහැ. ඒ Covid-19 වසංගත තත්ත්වය නිසා කිසිදු තරගාවලියක් මෙරට නොපැවතී ම නිසායි.

මේ නිසා මට අවුරුදු 14න් පහළ වයස් කාණ්ඩය මඟ හැරෙනවා. ඒත් මම ඒ කාලයේ හැකි හැම වෙලාවේ ම පුහුණුවීම්වල නිරත වුනා.”

ඒ පුහුණුවත් සමඟින් ඇයගේ නැවත වතාවක් ක්‍රීඩා පිටියට පිවිසෙන්නේ අවුරුදු 16න් පහළ වයස් කාණ්ඩයෙන්.  ඒ අනුව නිමා වූ වසරේ සහභාගී වූ පළමු තරගයේ දී ම ඇය රන් පදක්කමක් දිනා ගනිමින් තම ගමන ආරම්භ කිරීමට සමත් වෙනවා.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති ජාතික කනිෂ්ඨ ශූරතාවලියේ දී ඇය එම පදක්කම දිනා ගන්නේ මීටර් 1.61ක උසක් තරණය කරමින්. අනතුරුව එම ක්‍රීඩාංගණයේ දී ම පැවති ශ්‍රී ලංකා පාසල් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා උළෙලට සහභාගී වෙන ඇය එහි දී මීටර් 1.58ක දක්ෂතාවක් දක්වමින් රිදී පදක්කම දිනා ගන්නවා.

සමාධි හරි හම්බකරගත් වත්කමෙන් බිඳක්

එම තරගාවලියෙන් පසුව පැවති ජාතික පාසල් ක්‍රීඩා උළෙලේ දී මීටර් 1.65ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කම දිනා ගන්නා ඇය එකී දක්ෂතාව තවත් වර්ධනය කර ගනිමින් ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ ක්‍රීඩා උළෙලේ දී නව ජාතික වාර්තාවක් සමඟින් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ද සම්මාන දිනා ගන්නවා. ඇයගේ මෙම දක්ෂතාව නිමා වූ වසරේ දී උස පැනීමේ ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතා අතර තෙවැනි අසුන දිනා ගැනීමට තරම් වැදගත් වුනා.

නේත්‍රා සමාධි කියන්නේ අප ආරක්ෂා කර ගත යුතු ක්‍රීඩිකාවක්. ඇය මේ දක්ෂතා දක්වන්නේ තවමත් අවුරුදු 14 වයසේ සිටිමින්. උත්සාහය, කැපවීමේ මේ ආකාරයෙන් ම ඉදිරියටත් තිබෙනවා නම් ඇයට ඔලිම්පික් දක්වා යන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා,” සමාධිගේ පුහුණුකරු මෙන් ම රුහුණු විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන කේ. එච්. කීර්ති කුමාර මහතා ThePapare.com සමඟ එක් වෙමින් පැවසුවා.

සමාධි එවැනි ගමනක් එක් ව යෑමට නම් සපුරාගත යුතු තවත් බොහෝ දේ පවතින බවක් ද කීර්ති කුමාර මහතා පවසනවා.

ඇය ක්‍රීඩාවට වගේ ම ඉගෙන ගැනීමට ද එක සේ දක්ෂයි. නමුත් මේ පළාතට ම පොදු වූ දෙයක් තමයි ආර්ථික අපහසුතා. ඒකෙන් නේත්‍රා සමාධි පමණක් නොවේ අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ බොහෝ දෙනෙක් පීඩා විඳිනවා. දෙමාපියනුත් මේ ප්‍රශ්නයේ දී අසරණයි.”

පෙර, ඊට විකල්පයක් ලෙස විජිත මධ්‍ය මහා විද්‍යාලයීය ආදි සිසුන් එක්ව සකසා ගත් විජිත ක්‍රීඩා සංවර්ධන පදනම මගින් ඔවුන්ට විශාල සේවයක් සපයා තිබෙනවා. නමුත් මේ දිනවල රටේ පවතින තත්ත්වය මත ඊට ලැබෙන ආධාර මුදල් නොලැබීම හේතුවෙන් එම වැඩ පිළිවෙළ මදක් පසු බා ඇති බවයි ඔහු පවසන්නේ.

අපි කණ්ඩායම ක්‍රීඩා කළ සෑම ළමයෙක්ට ම උදෑසන පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දුන්නා. ඒක ඒ ළමයින්ගේ දක්ෂතා ඉදිරියට ගැනීමට විශාල රුකුලක් වුනා. ඒ වගේ ම අවශ්‍ය උපකරණ ලබා දෙන්න පවා අපි මැදිහත් ව කටයුතු කළා. නමුත් දැන් බොහෝ දෙනෙක්ට එහෙම හැකියාවක් නැහැ. ඒ නිසා අපිත් අසරණ වෙලා ඉන්නේ.”

මේ තත්ත්වය යටතේ වූව ද විජිත මධ්‍ය මහා විද්‍යාලය නිමා වූ වසරේ දී නව තරග වාර්තා ත්‍රිත්වයක් සමඟින් පදක්කම් 17ක් දිනා ගැනීමට සමත් ව සිටිනවා.

විද්‍යාලයීය ක්‍රීඩා සංවර්ධන පදනමේ සභාපති ලෙසින් කේ. එච්. කීර්ති කුමාර මහතා කටයුතු කරන අතර ලේකම් ලෙස කේ. ඩබ්ලිව්. කසුන් මහතාත්, භාණ්ඩාගාරික ලෙස එච්. ජී. ඉරේෂා සඳමාලි මහත්මියත් කටයුතු කරනවා. ඔවුන්ගේ බලාපොරොත්තුව හැකි සෑම අයුරකින් ම මේ දරුවන් වෙනුවෙන් සහාය වීමයි.

එය නේත්‍රා සමාධි වැන්නන්ට අතිශය වැදගත් බවයි ඔවුන්ගේ මතය.

සමාධි කියන්නේ දැන් පෙන්වන දක්ෂතාවන් ආරක්ෂා කර ගන්න ඕන දරුවෙක්. දීප්තිමත් අනාගතයක් පෙන්වන දරුවෙක්. මෙතෙක් උස පැනීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවෙන් කාන්තා ක්‍රීඩිකාවක් ඔලිම්පික් ගිහිල්ලා නැහැ. අපේ උත්සාහය සමාධි ඒ තැනට ගේන්න. ඒකට අපිට උදව් අවශ්‍යයි,” තිලක් කුමාර මහතා පවසනවා.

ඔහුගේ එම ඉල්ලීම සර්ව සාධාරණීකරණය කිරීමට නම් සමාධිලාගේ ජීවිතවලට ද එබී බැලිය යුතුයි. මේ එබි බැලූ මිනිසුන් අතර 2004 වසරේ ඇතෑන්ස් ඔලිම්පික් උළෙල නියෝජනය කළ උස පැනීමේ ක්‍රීඩක මංජුල කුමාර මෙන් ම හිරිකැටිය ඩොට් ව්‍යාපාරයේ අධිපතිතුමා ද සිටිනවා.

සමාධිගේ පියා වී. ටී. ජයන්ත මහතා. වෘත්තියෙන් පෙදරේරුවෙක්. අම්මා එච්. ඊ. සුජානි මහත්මිය. ගෘහණියක් ලෙසින් ගෙදර අවශ්‍යතාවන් පිරිමහ ගන්නේ ඇය. සමාධිට දික්වැල්ල විජිතයේ ම ඉගෙන ගන්නා නංගි කෙනෙක් ඉන්නවා. ඇය 2 ශ්‍රේණියේ ඉගෙන ගන්නා සනුති නවංගි.

තාත්තා කරන රස්සාවෙන් තමයි අපි හතර දෙනෙක් යැපෙන්නේ. ඒ ගමන් ම තාත්තා පුළුවන් විදිහට මගේ ක්‍රීඩා අවශ්‍යතාත් ලබා දෙනවා. තාත්තත් අම්මත් කියන්නේ මේක කොහොම හරි කරගෙන යමු කියලා. ඒ විශ්වාසය මට ගොඩාක් වටිනවා. මෙතෙක් ආ ගමනේ දී මට ගොඩාක් දේවල් ලැබුණෙ පාසලෙන්. කීර්ති සර් ක්‍රීඩාව පුහුණු කරනවට අමතර ව ගොඩාක් උදව් කරනවා. මංජුල කුමාර සර් හැම තරගයක දී ම වගේ උපදෙස් දෙනවා. උදව් කරනවා. නවෝද් සර් සපත්තු දෙකක් අරන් දුන්නා. තව ගොඩාක් දෙනෙක් උදව් කරනවා. ඒ සියලුම දෙනාට ම මම ස්තූතිවන්ත වෙනවා.”

සමාධි මලල ක්‍රීඩාවට ප්‍රවිශ්ඨ වෙන්නේ ළමා සිතුවිලිත් තුරුළු කර ගනිමින්. එය මේ තරමින් කටුක ගමනක් බැව් ඇයට එදා සිතෙන්නට නැතිව ඇති. එවැන්නක් තේරුම් ගැනීමට තරම් ක්‍රීඩාව ගැන දැනීමක් ඇයගේ දෙමාපියන්ට ද තිබෙන්නට නැතිව ඇති. නමුත් මේ වෙද්දී සමාධි මේ ක්ෂේත්‍රයේ දක්වන දක්ෂතාත් සමඟින් දෙමාපියන්ගේ ද සියලු බලාපොරොත්තු ඇය මත්තේ ම රැඳී ඇත.

මම මේ ක්‍රීඩාවට ආසයි. මට තව ගොඩාක් ඉදිරියට යන්න ඕන. අපහසුකම් මතු වේවි.  මහන්සි වෙලා, උත්සාහයෙන්, කැපවීමෙන් ඒ ගමන යනවා. කවදහරි දවසක ජාත්‍යන්තර මට්ටමේ පුහුණුකාරිනියක් වෙලා මගේ දැනුම අනිත් අයත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා,” නේත්‍රා සමාධි ThePapare.com සමඟ පැවසුවා.

මලල ක්‍රීඩා පිටියට දක්ෂතා සපිරි බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දායාද කළ දික්වැල්ල විජිතයෙන් පීඳුණ මේ මල් කැකුළියට ThePapare.com වෙතින් උණුසුම් සුබ පැතුම්!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<