රුසියාවට මලල ක්‍රීඩාවත් තහනම් වෙයි

175

යුක්‍රේනය සමඟ ඇති කර ගත් යුදමය තත්වයට දඬුවමක් ලෙස රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට වහාම ක්‍රියාත්මක වන පරිදි මලල ක්‍රීඩා තහනමක් පැනවීමට ලෝක මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබෙනවා.

මෙම තීරණය පිළිබඳව දැනුම් දෙමින් ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් ප්‍රකාශ කර තිබුණේ,

රුසියාව සහ Belarus රාජ්‍යය නියෝජනය කරන සියලූම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ එයට සම්බන්ධ සියලූම පාර්ශවයන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉදිරියේ පැවැත්වීමට නියමිත ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන කිසිදු තරගාවලියකට සහභාගි වීමට අවසර හිමිවන්නේ නැහැ.

එම අවසර හිමිනොවන ඉසව් අතරට ලෝක මලල ක්‍රීඩා ශූරතාවය, ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවය සහ ලෝක කණ්ඩායම් ඇවිදීමේ ශූරතාවය යන තරගාවලි ද ඇතුළත්”.

මෙම තීරණය පිළිබඳව අදහස් දක්වමින් ලෝක මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානී Sebastian Coe ප්‍රකාශ කර සිටියේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔහුට ගත හැකි අවසාන තීරණය මෙය බවයි.

එමෙන්ම මෙම රුසියාව සහ Belarus රාජ්‍යය වෙනුවෙන් පැනවූ තහනම පිළිබඳව ඉදිරි තීරණය ලබන සතියේ පැවැත්වීමට නියමිත කමිටු රැස්වීමේ දී සාකච්ඡා කිරීමට ලෝක මලල ක්‍රීඩා සංගමය එකඟ වී තිබුණා.

තහනම් උත්තේජක චෝදනාවන්ට වැරදිකරුවන් වීම නිසාවෙන් රුසියානු මලල ක්‍රීඩා සංගමය තහනම් කිරීමට ලෝක මලල ක්‍රීඩා සංගමය 2015 දී තීරණය කළ අතර ඔවුන්ට ඉන් පසුව කිසිදු තරගාවලියක් සංවිධානය කිරීමට හෝ අවසර හිමි වුනේ නැහැ.

නමුත් ඔවුන්ගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට මධ්‍යස්ථ කාණ්ඩය යටතේ තරග වැදීමට අවසර හිමිවූ නමුත් මෙම තීරණයත් සමඟින් ඔවුන්ට ඉදිරියේ දී කිසිම අයුරකින් තරගාවලියකට සහභාගී වීමට අවසර හිමිවන්නේ නැහැ.

ඒ අනුව මෙම මාසයේ දී පැවැත්වීමට නියමිත ලෝක කණ්ඩායම් ඇවිදීමේ ශූරතාවය සහ ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සහභාගී වීමට සිටි රුසියානු සහ Belarus ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට එම තරගාවලිවලින් ඉවත් වීමට සිදුවනවා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<