පැසිෆික් කලාපීය ප්‍රබලයින්ගේ ගැටුමට දින නියම වේ

124

පැසිෆික් කලාපීය රග්බි දැවැන්තයන් උරින් උර ගැටෙන Pacific Nations – 2019 කුසලානයේ ආරම්භක අදියරේ තරග සඳහා සත්කාරකත්වය ජපානයට ලබා දීමට අන්තර්ජාතික රග්බි සම්මේලනය තීරණය කර ඇත. ලබන වසරේ දී ජපානයේ දී පැවැත්වීමට නියමිත රග්බි ලෝක කුසලානය සඳහා පෙරහුරුවක් ලෙස මෙම තරගාවලිය යොදා ගැනීමට ඔවුන් අපේක්ෂා කරයි.

කොරියාව හමුවේ යොවුන් ඇතුන් කබලෙන් ලිපට වැටේ

ආසියානු වයස අවුරුදු 19න් පහළ රග්බි ශූරතාවලියේ සිය …

ළඟ එන රග්බි ලෝක කුසලානයේ උණුසුමින් සකුරා දේශයම වෙළා ගෙන ඇති මොහොතක තම රග්බි විරුවන්ගේ ක්‍රීඩා කෞෂල්‍යයන් සියැසින් දැක බලා ගැනීමට අවස්ථාවක් සැලසීම ගැන ජපාන රග්බිලෝලීන් හට ඇත්තේ ඉමහත් සතුටකි. එහි දී ජපාන කණ්ඩායම ජූලි මස 27 වැනිදා ෆීජි කණ්ඩායමට එරෙහිව කමයිෂි ක්‍රීඩාංගණයේ දී සහ අගෝස්තු මස 3 වැනිදා ටොංගා කණ්ඩායමට එරෙහිව ඔසාකා හී හනසනෝ ක්‍රීඩාංගණයේ දී සිය මෙහෙයුම දියත් කිරීමට නියමිතයි.

ජපානය, ටොංගා සහ ෆීජි රටවල් තුනට අමතරව ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ සැමෝවා කණ්ඩායම් ද 2019 පැසිෆික් කුසලානය වෙනුවෙන් තරග වැදීමට සූදානම් වන අතර තරගාවලිය අදියර තුනකින් සමන්විත වන බැවින් තරග කිහිපයක් ෆීජී, සැමෝවා සහ ඇමරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වීමට සංවිධායක කමිටුව අපේක්ෂා කෙරේ.

මෙතෙක් පවත්වා ඇති තරගාවලිවලට සාපේක්ෂව මෙවර තරගාවලිය වඩාත් තරගකාරී සහ ගුණාත්මක බවින් ඉහළ මට්ටමක පවතිනු ඇතැයි රග්බි විචාරකයින් බලාපොරොත්තු වේ. මන්ද ගියවර පැසිෆික් කලාපීය ශූරයින් ලෙස කිරුළු පැලදී ෆීජි කණ්ඩායම වත්මන් ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම් අනුව 8 වන ස්ථානයේත්, සත්කාරක ජපානය 11 වැනි ස්ථානයේත්, ඇමරිකා එක්සත් ජනපදය, ටොංගා, සැමෝවා සහ කැනඩාව පිළිවෙළින් 12, 14, 16 සහ 20 වැනි ස්ථානවලත් පසුවන නිසාවෙනි.

කොරියාව හමුවේ යොවුන් ඇතුන් කබලෙන් ලිපට වැටේ

ආසියානු වයස අවුරුදු 19න් පහළ රග්බි ශූරතාවලියේ සිය …

මෙම තරගාවලිය පිළිබඳ අදහස් දක්වමින් ලෝක රග්බි සම්මේලනයේ මුල් පුටුව හොබවන බිල් බියුමව්න්ට් මහතා පවසා සිටියේ තරගාවලියට සහභාගි වන කණ්ඩායම් සඳහා ලෝක කුසලාන තරගාවලියට සාර්ථකව මුහුණ දීමට මෙම තරගාවලියෙන් ලබා ගන්නා අත්දැකීම් මහඟු පිටිවහලක් වන අතර ආසියාවේ පවත්වන කුළුඳුල් රග්බි ලෝක කුසලානය සඳහා පවතින සූදානම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටත් මෙය කදිම අවස්ථාවක් බවයි.

රග්බි ක්‍රීඩාවේ මෞලි මංගල්‍යය ලෙස පිළිගැනෙන රග්බි ලෝක කුසලානයේ නවවැනි අදියර ලබන වසරේ සැප්තැම්බර් 20 වැනිදා සිට නොවැම්බර් 2 වැනිදා දක්වා ජපානයේ දී පැවැත්වීමට සියලුම කටයුතු සම්පාදනය කරමින් පවතී.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<