දේශීය ක්‍රිකට් බිමේ ඉනිමක වැඩිම ලකුණු වාර්තාව චන්දිමාල්ට

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රිමියර් ලීග් Tier ‘A’ 2020

296

දේශීය ක්‍රිකට් පිටිය තුළ එක් ඉනිමක පිතිකරුවෙකු විසින් වාර්තා කරගත් වැඩිම පුද්ගලික ලකුණු ප්‍රමාණයේ වාර්තාව තමන් සතුකර ගැනීමට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සහ යුද හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් සමත් විය. ඒ අද (26) දිනයේ කටුනායක දී පැවති තරගයේ දී සැරසන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 354*ක් වාර්තා කරගනිමිනි. 

ඉදිරි දේශීය ක්‍රිකට් තරග කාලසටහන එළියට

මීට පෙර එම වාර්තාව සඳහා හිමිකම් කියනු ලැබුවේ ටැමිල් යුනියන් කණ්ඩායම නියෝජනය කළ කිත්රුවන් විතානගේ වන අතර ඔහු 2014/2015 තරගවාරය තුළ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 351ක් වාර්තා කරගනිමින් එම වාර්තාව පිහිටුවා තිබුනි. ඒ අනුව චන්දිමාල් විසින් අද දිනයේ දී අලුත් කරන ලද්දේ වසර 5ක් ඉපැරණි වාර්තාවකි.

චන්දිමාල්ගේ මෙම නොදැවුනු ඉනිම ගොඩනැංවීම සඳහා හතරේ පහර 33ක් සහ හයේ පහර 9ක් ඇතුළත් වූ අතර එය ඔහුගේ පළමු පෙළ ක්‍රිකට් දිවියේ රැස්කර ගත් වැඩිම ලකුණු ප්‍රමාණය ද වේ. අවසානයේ චන්දිමාල් ඇතුළු යුද හමුදා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 8ක් දැවී ලකුණු 642ක් වාර්තා කරගනිමින් සිය පළමු ඉනිම අත්හිටුවන ලදි.

එන්. සී. සී. සහ කෝල්ට්ස් තරගයේ දෙවන දිනය අවසන් වන විට වැඩි ගෞරවය දිනාගෙන සිටින්නේ එන්. සී. සී. කණ්ඩායම වන අතර තරගයේ දෙවන දිනය තුළ කෝල්ට්ස් කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් හෝ ලබා ගැනීමට සමත් වූයේ ඇන්ජලෝ මැතිව්ස් සහ සධීර සමරවික්‍රම පමණි. පන්දු යැවීමේ දී චතුරංග ද සිල්වා ලකුණු 56කට කෝල්ට්ස් පළමු ඉනිමේ කඩුලු 5ක් දවා ගෙන දස්කම් දැක්වීය.

කොළඹ එස්. එස්. සී. පිටියේ දී පැවැත්වෙන සී. සී. සී. සහ හලාවත මේරියන්ස් අතර තරගයේ අද දිනය තුළදී හලාවත මේරියන්ස් නායක ශෙහාන් ජයසූරිය හතරේ පහර 13ක් සහ හයේ පහර 3ක් එල්ල කරමින් පන්දු 95ක දී වේගවත් ලකුණු108ක් වාර්තා කරගත්තේය. ඊට අමතරව ඕෂධ ප්‍රනාන්දු, කසුන් විදුර, රුමේෂ් බුද්ධික සහ ලසිත් කෘස්පුල්ලේ යන ක්‍රීඩකයින් අර්ධ ශතක ලබා ගන්නා ලදි. පන්දු යැවීමේ දී සී. සී. සී. කණ්ඩායම වෙනුවෙන් කඩුලු 4ක් දවාගත් මලින්ද පුෂ්පකුමාර මෙවර තරගවාරය තුළ කඩුලු 50 සීමාව පසුකර යාමට සමත් විය.

පළමු පෙළ තුළ පරිනත වූ පරණවිතාන ක්‍රිකට් බිමට සමුදෙයි

රාගම කණ්ඩායම වාර්තා කරගත් ලකුණු 491ක දැවැන්ත පළමු ඉනිම සඳහා පිළිතුරු දෙමින් සිටින බී. ආර්. සී. කණ්ඩායම වෙනුවෙන් ශානුක දුලාජ් (ලකුණු 59*) සහ නිසල් ෆ්‍රැන්සිස්කෝ (ලකුණු 50) සාර්ථක ආරම්භයක් ගොඩනගා දෙන ලදි. රාගම කණ්ඩායම වෙනුවෙන් පළමු ඉනිමේ වැඩිම ලකුණු රැස්කර ගත් උදාර ජයසුන්දරගේ ලකුණු 158 ඉනිම සඳහා හතරේ පහර 13ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය. මෙවර තරගවාරය තුළ දැනට වැඩිම කඩුලු ලාභියා ලෙස ඉදිරියෙන් සිටින දුවිඳු තිලකරත්න, බී. ආර්. සී. කණ්ඩායම වෙනුවෙන් කඩුලු 3ක් දවා ගැනීමට සමත් වූයේය.

එන්. සී. සී. සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය 

එන්. සී. සී. පළමු ඉනිම – 458 (88.2): ඇන්ජලෝ පෙරේරා 107, කමිල් මිශාර 72*, ලහිරු උදාර 66, නිරෝෂන් දික්වැල්ල 57, දිල්රුවන් පෙරේරා 4/117.  

කෝල්ට්ස් පළමු ඉනිම – 222 (51): ඇන්ජලෝ මැතිව්ස් 52, චතුරංග ද සිල්වා 5/56. 

කෝල්ට්ස් දෙවන ඉනිම (F/O) (දෙවන දිනය අවසානයේ) – 119/6 (37): සධීර සමරවික්‍රම 51, අශේන් ඩැනියල් 3/30. 

කෝල්ට්ස් කණ්ඩායම එන්. සී. සී. පළමු ඉනිමට වඩා ලකුණු 117ක් පසුපසින් සිටියි. 


හලාවත මේරියන්ස් සහ සී. සී. සී.  

සී. සී. සී. පළමු ඉනිම – 287 (59.5): ලසිත් අබේරත්න 68, ලහිරු මධුසංක 45, නිමේෂ් විමුක්ති 5/59. 

හලාවත මේරියන්ස් පළමු ඉනිම – 458/9d (87): ශෙහාන් ජයසූරිය 108, ඕෂධ ප්‍රනාන්දු 85, කසුන් විදුර 61, රුමේෂ් බුද්ධික 56, ලසිත් කෘස්පුල්ලේ 50, මලින්ද පුෂ්පකුමාර 4/106. 

සී. සී. සී. දෙවන ඉනිම (දෙවන දිනය අවසානයේ) – 67/2 (16.4): 

සී. සී. සී. කණ්ඩායම හලාවත මේරියන්ස් පළමු ඉනිමට වඩා ලකුණු 103ක් ඉදිරියෙන් සිටියි. 


යුද හමුදා ක්‍රීඩා සමාජය සහ සැරසන්ස් ක්‍රීඩා සමාජය 

යුද හමුදා පළමු ඉනිම – 642/8d (90): දිනේෂ් චන්දිමාල් 354*, පැතුම් ඩිල්ශාන් 67, අශේන් රන්දික 63, ලක්ෂාන් එදිරිසිංහ 45. 

සැරසන්ස් පළමු ඉනිම (දෙවන දිනය අවසානයේ) – 72/2 (20.3):

දිල්රුවන්, තිරිමාන්න සහ ජයසුන්දර වාර්තා පොත් අතරට


බී. ආර්. සී. සහ රාගම ක්‍රිකට් සමාජය 

රාගම පළමු ඉනිම – 491 (134.1): උදාර ජයසුන්දර 158, ලහිරු තිරිමාන්න 140, බිනුර ප්‍රනාන්දු 52, දුවිඳු තිලකරත්න 3/136. 

බී. ආර්. සී. (දෙවන දිනය අවසානයේ) – 142/2 (42.4): ශනුක දුලාජ් 59*, නිසල් ෆ්‍රැන්සිස්කෝ 50. 

තරගාවලියේ විශේෂ වීඩියෝ, සේයා රූ, ලකුණු සටහන් ඇතුළු සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. ක්‍රීඩාවේ නවමු අත්දැකීම් විඳගන්න, ඔබත් ThePapare.com වෙබ් අඩවිය දැන්ම subscribe කරන්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<