Lylesගේ සිහින බොඳ වූ, Nicolaගේ සිහින සැබෑ වූ රැයක්

World Athletics Indoor Championship 2024

154

ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේ පළමු දිනයේ තරග අද (02) අලුයම අවසන් වුනේ පිරිමි මීටර් 60 ඉසව්වේ කිරුල ඇමරිකාවේ Christian Coleman හට හිමි කර දෙමිනුයි. 

ශ්‍රී ලංකාවේ වේලාවෙන් ඊයේ (01) සවස ස්කොට්ලන්තයේ Glasgow හිදි ආරම්භ වූ මෙවර ශූරතාවලියේ පළමු පදක්කම හිමි කර ගැනීමට කාන්තා යගුළිය විසිකිරීමේ ඉසව්ව ජයග්‍රහණය කළ කැනඩාවේ Sara Mitton විසින් සමත් වූ අතර, ඇය විසින් මෙහි දී මෙම කාල සමය සඳහා ඉසව්වේ හොඳම දක්ෂතාව ද තමන් සතු කර ගනිමින් මීටර් 20.22ක දුරක් යගුළිය විසිකිරීමට සමත් වුනා. 

මේ අතර පිරිමි යගුළිය විසිකිරීමේ ඉසව්වෙන් නව තරගාවලි වාර්තාවක් පිහිටුවමින් එහි රන් පදක්කම ජයග්‍රහණය කිරීමට ඇමරිකානු ක්‍රීඩක Ryan Crouser විසින් සමත් වුනා. 

මේ අතර ඊයේ අලුයම පැවැත්වුණු කාන්තා උස පැනීමේ ඉසව්වේ දී දැනට ලොව අංක එකේ රැඳෙන යුක්‍රේනයේ Yaroslava Mahuchikh සහ අංක දෙකේ රැඳෙන ඕස්ට්‍රේලියාවේ Nicola Olyslagers අතර තියුණු තරගයක් නිර්මාණය වුනා. 

එහි දී මීටර් 1.97ක් දක්වා ම සිය පළමු උත්සාහයන් සාර්ථක කර ගනිමින් ක්‍රීඩිකාවන් අතර පෙරමුණේ රැඳුණු Mahuchikh, මීටර් 1.99 දී සිය අවස්ථා තුනෙන් ම අසාර්ථක වුනා. නමුත් එතෙක් දෙවැනි ස්ථානයේ රැඳී සිටි Nicola විසින් මීටර් 1.99 උස සිය අවසන් උත්සාහයේ දී සාර්ථක කර ගැනීමත් සමඟ ඉසව්වේ රන් පදක්කම ඇයට හිමි වුනා. 

2020 ඔලිම්පික් උළෙලේ කාන්තා උස පැනීමේ රිදී පදක්කම් ලාභිනිය වූ Nicola විසින් ගෝලීය මට්ටමේ ලද පළමු රන් පදක්කම මෙය වීම ද විශේෂත්වයක්. 

මේ අතර බොහෝ දෙනා බලාපොරොත්තු තබා සිටි පිරිමි මීටර් 60 ඉසව්ව දිනයේ අවසන් ඉසව්ව ලෙස පැවැත්වුණා. එහි දී වත්මන් ලෝක වාර්තාවට හිමිකම් කියන Christian Coleman සහ Noah Lyles අතර තියුණු තරගයක් බලාපොරොත්තු වූ නමුත්, Coleman විසින් මෙහි දී කිසිඳු අභියෝගයකින් තොරව ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වීම විශේෂත්වයක්. 

තත්පර 6.41ක කාලයක් සමඟ මෙම වසරේ හොඳම කාලය ද වාර්තා කළ Colemanට දෙවැනි වූ Lyles විසින් තරගය නිමා කළේ තත්පර 6.44ක කාලයක් තුළයි. එමෙන්ම ජැමෙයිකානු ක්‍රීඩක Ackeem Blake 6.46ක කාලයක් සමඟ ඉසව්වේ තෙවැනි ස්ථානය හිමි කර ගත්තා. 

මලල ක්‍රීඩා ශූරතාවලියේ පළමු දිනයේ තරග එසේ අවසන් වූ අතර, දෙවැනි දිනයේ තරග ශ්‍රී ලංකා වේලාවෙන් අද (02) සවස සහ හෙට (03) අලුයම පැවැත්වීමට නියමිතයි. 

එහි දී පිරිමි දුර පැනීම ඉසව්ව නියෝජනය කරන ග්‍රීසියේ Miltiadas Tentoglou, කාන්තා රිටි පැනීම ඉසව්ව නියෝජනය කරන ඇමරිකාවේ Katie Moon, කාන්තා මීටර් 3000 ඉසව්ව නියෝජනය කරන ඉතියෝපියාවේ Gudaf Tesgay සහ කාන්තා මීටර් 400 ඉසව්ව නියෝජනය කරන නෙදර්ලන්තයේ Femke Bol වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු වනු ඇති. 

එමෙන්ම එම ඉසව් පිළිබඳ සියලු උණුසුම් විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<