2024 ISAC සාර්ථකව නිමා වෙයි; වත්තල ලයිසියම් විද්‍යාලය පෙරමුණේ

22nd ISAC 2024

467

ගේට්වේ ජාත්‍යන්තර පාසල් සමූහයේ සත්කාරකත්වයෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු 22 වැනි ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා ශූරතාවලිය ජයග්‍රහණය කිරීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත් වුනා.

පසුගිය සෙනසුරාදා (24) ආරම්භ වූ මෙම ශූරතාවලියේ දෙවන සහ අවසන් දිනය ඊයේ (25) ක්‍රියාත්මක වූ අතර, ඊයේ දිනය අවසන් වන විට සමස්ත ලකුණු 803ක් ලබා ගැනීමට වත්තල ලයිසියම් විද්‍යාලය විසින් සමත් වී තිබුණා. මේ අතර ඔවුන්ට තියුණු අභියෝගයක් ලබා දුන් කොළඹ ගේට්වේ විද්‍යාලය ලකුණු 756ක් සමඟින් ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත් වුනා.

මීට අමතරව මෙහි දී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ පාසල් ලෙස පානදුර සහ රත්නපුර ලයිසියම් විද්‍යාලත්, OKI ජාත්‍යන්තර පාසලත් හඳුන්වා දිය හැකි වුනත් ඔවුන් සහ මුල් ස්ථාන දෙක ලැබූ පාසල් අතර විශාල පරතරයක් රැඳී තිබුණා.

මෙහි දී වයස අවුරුදු 12න් පහළ සහ 14න් පහළ තරග කාණ්ඩවල ශූරතා ජයග්‍රහණය කරමින් කොළඹ ගේට්වේ විද්‍යාලය ඉදිරියට පැමිණියත් 16න් පහළ, 18න් පහළ සහ 20න් පහළ ශූරතා ජයග්‍රහණය කිරීමට වත්තල ලයිසියම් විද්‍යාලය විසින් සමත් වුනා.

මෙවර ශූරතාවලියේ දී නව තරග වාර්තා රැසක් බිහි වූ අතර, එහි දී කොළඹ ගේට්වේ විද්‍යාලයේ අශයින් තෙවරප්පෙරුම වෙත වැඩි අවධානයක් යොමු වුනේ ඔහු විසින් වයස අවුරුදු 14න් පහළ පිරිමි මීටර් 100, උස පැනීම සහ දුර පැනීම යන ඉසව් ත්‍රිත්වයේ ම නව තරග වාර්තා පිහිටුවීමට සමත් වීම නිසායි.

මේ අතර සාන්ත නිකොලා ජාත්‍යන්තර පාසල නියෝජනය කරමින් වයස අවුරුදු 12න් පහළ කාන්තා මීටර් 60 සහ මීටර් 100 ඉසව් ද්විත්වයෙන් නව තරග වාර්තා ද්විත්වයක් පිහිටුවීමට උමායා සිල්වා විසින් සමත් වුනා.

එමෙන්ම ශූරතාවලිය අවසානයේ විවිධ වයස් කාණ්ඩ යටතේ එයට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම ද සිදු කෙරුණා. එහි විස්තර පහතින් දැක්වෙනවා.

  • 12න් පහළ ශූරිය – උමායා සිල්වා (සාන්ත නිකොලා ජාත්‍යන්තර පාසල) – ලකුණු 28
  • 12න් පහළ ශූරයා – යුනාල් රණවීර (වත්තල ලයිසියම් විද්‍යාලය – ලකුණු 34
  • 12න් පහළ ශූරතාව – කොළඹ ගේට්වේ විද්‍යාලය – ලකුණු 88
  • 14න් පහළ ශූරිය – චෙනුති පෙරේරා (පානදුර ලයිසියම් විද්‍යාලය) – ලකුණු 20
  • අශයින් තෙවරප්පෙරුම (කොළඹ ගේට්වේ විද්‍යාලය) – ලකුණු 42
  • 14න් පහළ ශූරතාව – කොළඹ ගේට්වේ විද්‍යාලය – ලකුණු 102
  • 16න් පහළ ශූරිය – දිලිනි රාජපක්ෂ (වත්තල ලයිසියම් විද්‍යාලය) – ලකුණු 34
  • 16න් පහළ ශූරයා – අම්රිත් සමරසිංහ (කොළඹ ජාත්‍යන්තර පාසල) – ලකුණු 26
  • 16න් පහළ ශූරතාව – වත්තල ලයිසියම් විද්‍යාලය – ලකුණු 152
  • 18න් පහළ ශුරිය – නෙහන්සා පරණලියනගේ (කොළඹ ගේට්වේ විද්‍යාලය) – ලකුණු 28
  • 18න් පහළ ශූරයන් – රෙහාන් පෙරේරා (වත්තල ලයිසියම් විද්‍යාලය) සහ Saad Faleel (මහනුවර ගේට්වේ විද්‍යාලය) – ලකුණු 20
  • 18න් පහළ ශූරතාව – වත්තල ලයිසියම් විද්‍යාලය – ලකුණු 262
  • 20න් පහළ ශූරියන් – ධනංජනා රහස්ගල්ල (රත්නපුර ලයිසියම් විද්‍යාලය) සහ ශනෙල්ලා සෙනෙවිරත්න (කොළඹ ගේට්වේ විද්‍යාලය) – ලකුණු 28
  • 20න් පහළ ශූරයා – දෙනෙත් වීරරත්න (ලීඩ්ස් ජාත්‍යන්තර පාසල) – ලකුණු 36
  • 20න් පහළ ශූරතාව – වත්තල ලයිසියම් විද්‍යාලය – ලකුණු 252
  • සහය දිවීමේ ශූරතාව – වත්තල ලයිසියම් විද්‍යාලය – ලකුණු 129

Ritzbury අභියෝගතා කුසලානය – හොඳම මලල ක්‍රීඩිකාව – 20න් පහළ මීටර් 100 ඉසව්ව තත්පර 12.20කින් නිම කිරීම සඳහා – ශනෙල්ලා සෙනෙවිරත්න (කොළඹ ගේට්වේ විද්‍යාලය)

Ritzbury අභියෝගතා කුසලානය – හොඳම මලල ක්‍රීඩකයා – 20න් පහළ මීටර් 100 ඉසව්ව තත්පර 10.62කින් නිම කරමින් නව තරග වාර්තාවක් පිහිට වූ දෙනෙත් වීරරත්න (ලීඩ්ස් ජාත්‍යන්තර පාසල)

ශූරතාවලියේ හොඳම දක්ෂතාව – දෙනෙත් වීරරත්න (ලීඩ්ස් ජාත්‍යන්තර පාසල)

>>සමස්ත තරග ප්‍රතිඵල<<

දේශීය මලල ක්‍රීඩාවේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<