සුපිරි තරු ගැටෙන ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලිය ඇරඹෙයි!

World Athletics Indoor Championship 2024

117
2024 World Athletics indoor championship start today in glasgow translation sinhala

2024 ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලිය අද (01) ස්කොට්ලන්තයේ glasgow හිදි ආරම්භ වුනා. 

මෙම වසරේ ප්‍රථම ප්‍රධාන මලල ක්‍රීඩා තරගාවලිය ලෙස ආරම්භ වන මෙම තරගාවලිය සමඟින් 2024 පැරිස් ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වීමට නියමිත ලෝ ප්‍රකට ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් තරග බිමට පිවිසෙන ආකාරය මෙවර ඔබට දැක ගත හැකි වනු ඇති. 

මෙහි දී අද, හෙට (02) සහ අනිද්දා (03) යන දින තුනේ දී රටවල් 133ක් නියෝජනය කරමින් සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 651 දෙනෙකු අතුරින් වැඩි අවධානයක් යොමු වී ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපයක් මෙසේයි; 

Noah Lyles සහ Christian Coleman  

මෙම වසරේ ඇමරිකානු ශූරතාවලියේ දී මීටර් 60 ඉසව්ව ජයග්‍රහණය කරමින් වසරේ හොඳම කාලය වාර්තා කිරීමට සමත් වී ඇති Lyles විසින් නිමා වූ වසරේ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නව මීටර් 100 ලෝක ශූරයා ලෙස ද කිරුළු දැරීමට සමත් වුනා. 

එමෙන්ම පිරිමි මීටර් 60 ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන Coleman, පහසුවෙන් මෙම ඉසව්ව ජයග්‍රහණය කිරීමට Lylesට ඉඩ ලබා නොදෙන බවත් විශ්වාස කළ හැකි. මේ අතරම ජැමෙයිකාවේ Akeem Blake සහ කෙන්යාවේ Ferdinand Omanyala ද මෙම ඉසව්වේ දී පදක්කම් වෙනුවෙන් තියුණු සටනක් ලබා දෙනු ඇතැයි අනුමාන කළ හැකි. 

මේ අතර කාන්තා මීටර් 60 ඉසව්වෙන් Julien Alfred සහ Aleia Hobbs අතර තියුණු තරගයක් පවතී යැයි බලාපොරොත්තු විය හැකි. එමෙන්ම මෙම ඉසව්වේ දක්ෂතා දක්වන පෝලන්තයේ Ewa Swoboda පිළිබඳ ව ද මෙවර යම් බලාපොරොත්තුවක් තබා ගත හැකි. 

ලෝක වාර්තා ලාභීන් වන Devynne Charlton සහ Femke Bol  

කාන්තා මීටර් 60 කඩුලු පැන දිවීමේ ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන බහමාස් හි Devynne Charlton සහ පසුගිය දිනෙක කාන්තා මීටර් 400 ගෘහස්ථ ඉසව්වේ ලෝක වාර්තාව නැවත වරක් අලුත් කළ නෙදර්ලන්තයේ Femke Bol පිළිබඳ ව ද මෙම ශූරතාවලියේ දී බොහෝ බලාපොරොත්තු තබා තිබෙනවා. 

ඔවුන් දෙදෙනාට අමතරව කාන්තා උස පැනීමේ ඉසව්වේ ලොකයේ අංක එක සහ දෙක ස්ථානවල රැඳී සිටින යුක්‍රේනයේ Yaroslava Mahuchikh සහ ඕස්ට්‍රේලියාවේ Nicola Olyslagers පිළිබඳ ව ද මෙහි දී දෑස් දල්වා බලා සිටින ප්‍රේක්ෂක පිරිස අති විශාලයි. 

Duplantisගේ ලෝක වාර්තා රැල්ලේ තවත් කඩ ඉමක් 

පිරිමි රිටි පැනීමේ ඉසව්වේ වත්මන් ලෝක ශූරයා සහ ගෘහස්ථ සහ එළිමහන් ලෝක වාර්තාවල අයිතිය ඇති ස්වීඩනයේ Mondo Duplantis ද මෙම ශූරතාවලියේ තවත් එක් බලාපොරොත්තුවක් ලෙස හඳුන්වා දිය හැකි.  

මෙම ඉසව්වේ රන් පදක්කමටත් වඩා ඔහු තවත් ලෝක වාර්තාවක් පිහිටුවාවි ද යන්න මෙවරත් ප්‍රේක්ෂකයින්ට ඇති විශාලතම ගැට‍ළුවක් බවට පත් වී තිබෙනවා. 

මාර්තු 01 බලාපොරොත්තු  

ශූරතාවලියේ පළමු දිනය වන අද දිනයේ උදෑසන වරුවේ දී බොහෝ ඉසව්වල මූලික වටයේ තරග පැවැත්වීමට නියමිත නමුත්, අද රාත්‍රිය නම් අතිශය උණුසුම් වීමට ඉඩ පවතිනවා. 

අද රාත්‍රියේ දී (එනම් ශ්‍රී ලංකා වෙලාවෙන් හෙට අලුයම) කාන්තා උස පැනීම ඉසව්වේ අවසන් තරගය මෙන්ම, පිරිමි මීටර් 60 ඉසව්වේ අවසන් තරගය ද පැවැත්වීමට නියමිතයි. 

එම තරග විස්තර ද ඇතුළුව ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<