19න් පහළ ලෝක කුසලානයට වෙනස් තරග ආකෘතියක්

U19 ICC Men's World Cup 2024

246

2024 වයස අවුරුදු 19න් පහළ පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය සඳහා නවමු තරග ආකෘතියක් හඳුන්වා දීමට ICCය විසින් පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් යුතුව ලබන වසරේ ජනවාරි සහ පෙබරවාරි මාස වල දී පැවැත්වීමට නියමිත ව තිබූ මෙම තරගාවලිය පසුව ICCයේ ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම නිසා දකුණු අප්‍රිකාවට ගෙන යාමට තීරණය කළා.

මෙවර තරගාවලිය සඳහා රටවල් 16ක් ක්‍රීඩා කිරීමට නියමිත අතර එම කණ්ඩායම් මූලික වටයේ දී කාණ්ඩ හතරක් යටතේ තරග වදිනු ඇති.

  • A කාණ්ඩය – ඉන්දියාව, බංග්ලාදේශය, අයර්ලන්ත, ඇමරිකා එක්සත් ජනපදය
  • B කාණ්ඩය – එංගලන්තය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, ස්කොට්ලන්තය
  • C කාණ්ඩය – ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ, නැමීබියාව
  • D කාණ්ඩය – ඇෆ්ගනිස්තානය, පාකිස්තානය, නවසීලන්තය, නේපාලය

තරගාවලියේ මූලික වටයේ දී සෑම කණ්ඩායමක් ම තම කාණ්ඩයේ අනෙක් කණ්ඩායම් තුන සමඟ ක්‍රීඩා කිරීමට නියමිතයි. නමුත් ඉන් පසුව තරග පැවැත්වීමට නියමිත සැලැස්ම තරමක් වෙනස් කිරීමට ICCය විසින් තීරණය කර තිබෙනවා.

ඒ අනුව මූලික වටයේ දී සෑම කණ්ඩයමකින් ම මුල් ස්ථාන තුන හිමි කර ගන්නා කණ්ඩායම් සුපිරි 6 වටයට පිවිසෙනවා.

මෙහි දී A සහ D කාණ්ඩවලින් සුපිරි හය වෙත තේරී පත් වන කණ්ඩායම් හය එක් කාණ්ඩයකටත්, B සහ C මගින් තේරී පත් වන කණ්ඩායම් අනෙක් සුපිරි හය කාණ්ඩයටත් යොමු කෙරෙනවා.

එමෙන්ම මූලික වටයෙන් සුපිරි හය වටයට පිවිසෙන කණ්ඩායම් මූලික වටයේ දී තමන් සමඟ සුපිරි හය වටයට සුදුසුකම් ලද අනෙක් කණ්ඩායම් ද්විත්වය සමඟ තරග කිරීමෙන් ලද ලකුණු, ජයග්‍රහණ ප්‍රමාණය සහ දළ ලකුණු වේගය* සුපිරි හය ලකුණු සටහනට රැගෙන යනවා.

*.නිමා වූ ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී ද මේ හා සමාන ආකෘතියක් යටතේ තරග පැවැත්වුණා.

කෙසේ වෙතත් සුපිරි හය වටයේ දී එක් කණ්ඩායමක් ක්‍රීඩා කිරීමට නියමිත වන්නේ තරග ද්විත්වයක් පමණයි. මෙහි දී එක් එක් කණ්ඩායම ක්‍රීඩා කරන තරග දෙක කවුරුන් සමඟ පැවැත්වේ ද යන්න තීරණය කිරීමට සුදුසුකම් දෙකක් සපිරිය යුතුයි.

  1. ප්‍රතිවාදියා මූලික වටයේ ක්‍රීඩා කළ කණ්ඩායමක් විය නොහැකියි.
  2. ප්‍රතිවාදියා මූලික වටයේ දී ලබා ගත් ස්ථානය සමාන විය නොහැකියි.

උදාහරණයක් ලෙස;

C කාණ්ඩය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ දී තම තරග තුන ම ජයග්‍රහණය කරමින් ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණෙන අතර ඕස්ට්‍රේලියාව දෙවැනි ස්ථානයට සහ සිම්බාබ්වේ තෙවන ස්ථානයට පත් වේ යැයි උපකල්පන කරමු.

ඒ අනුව සුපිරි හය වටයට C කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් සුදුසුකම් ලබන අතර ශ්‍රී ලංකාව විසින් ඕස්ට්‍රේලියාවට සහ සිම්බාබ්වේ කණ්ඩායම්වලට එරෙහිව ලද ජයග්‍රහණය දෙක, ලකුණු සහ දළ ලකුණු වේගය සුපිරි හය වටයට රැගෙන යනු ඇති. එමෙන්ම සුපිරි හය වටයේ දී B කාණ්ඩයේ පළමු ස්ථානය හිමි කර ගන්නා කණ්ඩායම හැර අනෙක් කණ්ඩායම් දෙක සමඟින් පමණක් ශ්‍රී ලංකාව තරග වදිනු ඇති.

මෙසේ සුපිරි හය වටයේ තරග පැවැත්වීමෙන් අනතුරුව එක් එක් කාණ්ඩයේ මුල් ස්ථාන ද්විත්වය හිමි කර ගන්නා කණ්ඩායම් දෙක බැගින් තරගාවලියේ අවසන් පූර්ව වටයත්, ඉන් ජයග්‍රහණ ලබනා කණ්ඩායම් ද්විත්වය අවසන් මහා තරගයටත් සුදුසුකම් ලබා ගනු ඇති.

මේ අතර තරගාවලියේ මූලික වටයේ කාණ්ඩ හතරේ අවසන් ස්ථානය හිමි කර ගන්නා කණ්ඩායම් හතරට ද තරගාවලියේ ශ්‍රේණිගත කිරීම් වෙනුවෙන් (අවසන් ස්ථාන හතර සඳහා) තරග වැදීමට අවස්ථාවක් හිමි වනු ඇති.

එළඹෙන ජනවාරි මස 19 අයර්ලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර තරගයෙන් ආරම්භ වීමට නියමිත 19 පහළ ලෝක කුසලානය දින 24ක් පුරාවට පැවැත්වීමට නියමිතයි.

පෙබරවාරි 11 වැනි දා තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වීමට නියමිත අතර එය තරගාවලියේ 41 වැනි තරගය ලෙස සටහන් වනු ඇති.

2024 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Wisden ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<