2024 T20 ලෝක කුසලානයේ කණ්ඩායම් බෙදා අවසන්!

T20 Cricket World Cup 2024

3852
Sri Lanka Cricket

2024 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා කාණ්ඩ බෙදා වෙන් කර ඇති ආකාරය The Telegraph මඟින් හෙළිදරව් කරනවා. 

බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ ඇමරිකා එක්සත් ජනපදයේ සත්කාරකත්වය මත මෙම වසරේ ජුනි මාසයේ දී පැවැත්වීමට නියමිත මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා එක් කාණ්ඩයකට කණ්ඩායම් පහ බැගින් කාණ්ඩ හතරක් යටතේ කණ්ඩායම් 20ක් මූලික වටයේ දී තරග වැදීමට නියමිතයි. 

මූලික වටයේ තරඟවල දී එක් එක් කාණ්ඩයෙන් මුල් ස්ථාන ද්විත්වය හිමි කර ගන්නා කණ්ඩායම් සුපිරි කණ්ඩායම් අට වටයට සුදුසුකම් ලබා ගනු ඇති. කෙසේ වෙතත් එහි දී පෙර සැලසුම් කර ඇති සැලැස්මක් අනුවයි කණ්ඩායම් බෙදී යාමට නියමිත වන්නේ. 

මෙවර ලෝක කුසලානයේ මූලික වටයේ දී ශ්‍රී ලංකාව D කාණ්ඩය නියෝජනය කරමින් තරග වැදීමට නියමිත අතර එහි දී ඔවුන්ට දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය, නෙදර්ලන්තය සහ නේපාලය යන කණ්ඩායම් මුණ ගැසීමට නියමිතයි. 

මූලික වටය: 

A කාණ්ඩය   B කාණඩය  C කාණ්ඩය  D කාණ්ඩය 
       
ඉන්දියාව   එංගලන්තය   නවසීලන්තය   දකුණු අප්‍රිකාව 
පාකිස්තානය   ඕස්ට්‍රේලියාව   බටහිර ඉන්දීය කොදෙව්   ශ්‍රී ලංකාව 
අයර්ලන්තය   නැමීබියාව   ඇෆ්ගනිස්තානය   බංග්ලාදේශය  
කැනඩාව  ස්කොට්ලන්තය   උගන්ඩාව   නෙදර්ලන්තය  
ඇමරිකා එක්සත් ජනපදය  ඕමානය   පැපුවා නිව් ගිනියාව   නේපාලය 

මෙම තරගවලින් අනතුරුව සුපිරි අට වටයේ දී 1 සහ 2 ලෙස කාණ්ඩ දෙකකට බෙදා තරග පැවැත්වීමට නියමිත අතර මේ සඳහා ද දැනටමත් කණ්ඩායම් බෙදා වෙන් කර හමාර වීම විශේෂත්වයක්.  

සුපිරි අට වටය: 

1 කාණ්ඩය   2 කාණ්ඩය 
A1 ඉන්දියාව  A2 පාකිස්තානය  
B2 ඕස්ට්‍රේලියාව   B1 එංගලන්තය  
C1 නවසීලන්තය   C2 බටහිර ඉන්දීය කොදෙව්  
D2 ශ්‍රී ලංකාව  D1 දකුණු අප්‍රිකාව 

ඒ අනුව සුපිරි අට වටයේ දී ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ D2* ස්ථානය වන අතර ඔවුන් 1 කාණ්ඩය යටතේ ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය සමඟ තරග වැදීමට නියමිතයි. 

*. උදාහරණය – ශ්‍රී ලංකාව මූලික වටයේ D කාණ්ඩය නියෝජනය කරන අතර ඔවුන් මූලික වටයෙන් ඉදිරියට යාමට නම් එහි පළමු ස්ථාන දෙක අතරට පැමිණීම අත්‍යාවශ්‍යයි. නමුත් ශ්‍රී ලංකාව මෙහි පළමු ස්ථාන දෙකෙන් කුමන ස්ථානයට පැමිණිය ද ඔවුන් නම් කරන්නේ D2 ලෙස වන අතර ඔවුන්ට සුපිරි අට වටයේ දී හිමි වන්නේ 1 කාණ්ඩයමයි 

එමෙන්ම සුපිරි අට වටය සඳහා දැනට සැලසුම් කර ඇති කණ්ඩායමක් වෙනුවට වෙනත් කණ්ඩායමක් ඉදිරියට පැමිණේ නම් එම කණ්ඩායම නිසා ඉවත්ව යන කණ්ඩායමේ අංකය** නව කණ්ඩායමට හිමි වනු ඇති. 

**. උදාහරණය – මූලික වටයේ A කාණ්ඩයේ දී ඉන්දියාව වෙනුවට අයර්ලන්තය සුපිරි අට වටයට සුදුසුකම් ලබයි නම් අයර්ලන්තය විසින් ඉන්දියාවට හිමි A1 අංකය ලබමින් සුපිරි අට වටයේ 1 කාණ්ඩයේ ක්‍රීඩා කිරීමට නියමිතයි. 

මෙම තරගාවලි සැලැස්ම ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ පහසුව සඳහා සකසන ලද්දක් බවයි Telegraph විසින් සඳහන් කරන්නේ. තමන් සහය දක්වන කණ්ඩායම්වල තරග සැලැස්ම පෙර සිට ම අවබෝධ කර ගැනීම ප්‍රේක්ෂකයින්ට පහසු වනු ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ. කෙසේ වෙතත් මෙම කණ්ඩායම් බෙදා වෙන් කිරීම කෙතරම් සාධාරණ ද යන්නත් Telegraph විසින් ප්‍රශ්න කරනවා. 

මෙහි දී විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් හි සාපේක්ෂව පහළ ස්ථානවල රැඳෙන කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදය A කාණ්ඩයටත්, පැපුවා නිව් ගිනියාව සහ උගන්ඩාව C කාණ්ඩයටත් බෙදී ගොස් ඇති අතර අනෙක් කාණ්ඩ දෙකට එවැනි එක් කණ්ඩායම බැඟිනුයි බෙදී ගොස් ඇත්තේ. 

මෙමඟින් ශ්‍රී ලංකාව ඇතුළත් ව සිටින D කාණ්ඩය මූලික වටයේ දී වඩාත් තරගකාරී විය හැකි බවයි Telegraph අනුමාන කරන්නේ. 

කෙසේ වෙතත් මේ අනුව ශ්‍රී ලංකාවට මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී හෝ අවසන් මහා තරගයේ දී මිස එංගලන්තය, පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් මුණ ගැසීමට අවකාශයක් හිමි වන්නේ නම් නැහැ. 

එමෙන්ම තරගාවලියේ මූලික වටයේ දී ම ක්‍රිකට් ලොව දැවැන්ත එදිරිවාදිකමක් ඇති ඉන්දු පාකිස්තාන ක්‍රිකට් ගැටුමක් විඳ ගැනීමේ අවස්ථාව ද ප්‍රේක්ෂකයින්ට හිමි වී ඇති අතර, තවත් දැවැන්ත කණ්ඩායම් දෙකක් වන එංගලන්තඕස්ට්‍රේලියා ක්‍රිකට් ගැටුමක් ද මූලික වටයේ දී ම පැවැත්වීමට නියමිතයි. 

මෙම තරග සැලැස්ම මේ වන විටත් තරගාවලියට සහභාගී වන රටවල් වෙත යොමු කර ඇති බවත් නුදුරේ දී ම නිල වශයෙන් ප්‍රකාශ කරනු ඇති බවත් Telegraph විසින් වැඩිදුරටත් සඳහන් කරනවා. 

2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්. 

The Telegraph ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<