ශ්‍රී ලංකාව නොකඩවා පස්වැනි T20 තරගාවලියත් පරාජය වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2021

144
Sri Lanka tour of England 2021 2nd T20I
@getty images

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද  (25) නිමා වූ දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව කඩුලු 5කින් පරාජයට පත් වුනා. 

ඒ අනුව තවත් තරගයක් ඉතිරිව තිබිය දී ම එංගලන්තය 2-0ක් තරගාවලිය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකාව නොකඩවා ලබා ගත් පස්වැනි විස්සයි විස්ස තරගාවලි පරාජය ද උරුම කරදෙමිනි.

Cardiff හිදී පැවති මේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් කුසල් පෙරේරා නැවත වරක් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ශ්‍රී ලංකාව වෙනස්කම් දෙකක් සිදු කරමින් මේ තරගයට අවතීර්ණ වුනා. 

ඒ අනුව පළමු තරගයට ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා සහ නුවන් ප්‍රදීප් වෙනුවට නිරෝෂන් දික්වැල්ල සහ බිනුර ප්‍රනාන්දු මේ තරගය වෙනුවෙන් කණ්ඩායමට කැඳවා තිබුණා.

එංගලන්තයේ දක්ෂ පන්දු යැවීම නිසාවෙන් සහ ඇතැම් ශ්‍රී ලංකා පිතිකරුවන් සිය කඩුල්ලේ තිබෙන වටිනාකම මැනවින් අවබෝධ කරගෙන නොතිබූ පසුබිමක ශ්‍රී ලංකාව සිය නියමිත පන්දුවාර විස්ස අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 112ක් ලබා ගැනීමට සමත් වුනා.

මෙය අසීරුවෙන් ලබා ගත් ලකුණු ප්‍රමාණයක් වුනු අතර අවසන් පන්දු කිහිපය තුල ඉසුරු උදාන දියත් කළ තරමක පිති ප්‍රහාරය නිසාවෙන් ශ්‍රී ලංකාවට ලකුණු 100 සීමාව අභිබවා යාමට හැකියාව ලැබුණා. 

තරගයේ දී පළමු පන්දුවාර 6 ලැබෙන Powerplay අවස්ථාව තුල ශ්‍රී ශ්‍රී ලංකා පිතිකරුවන්ට එකඳු 4 හෝ 6 පහරක් එල්ල කිරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. එවැනි දෙයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමකට සිදු වුන පළමු අවස්ථාව මෙය වුනු අතර ශ්‍රී ලංකාව පළමු පන්දුවාර 6 අවසානයේ දී කඩුලු දෙකක් තුල ලබා ගත්තේ ලකුණු 26ක් පමණයි.

ශ්‍රී ලංකා ලකුණු සටහන දෙස බැලීමේ දී වැඩිම ලකුණු ලාභියා වුනු කුසල් මෙන්ඩිස් ලකුණු 36ක් ලබා ගැනීමට සමත් වුනා. මෙන්ඩිස් ලබා ගත් එම ලකුණු ප්‍රමාණය 2020 මාර්තු මාසයට පසුව තරග ආකෘතීන් තුන තුලම ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය ද වුනා.

කුසල් මෙන්ඩිස් සහ කුසල් පෙරේරා තුන්වැනි කඩුල්ල සඳහා ගොඩනැංවූ ලකුණු 53 සබඳතාවය හැරෙන්නට වෙනත් කිසිදු සාර්ථක සබඳතාවයක් ශ්‍රී ලංකා ලකුණු සටහනෙන් වාර්තා නොවුණු පසුබිමක, ප්‍රහාරත්මක වේගය 100 අභිබවා ගියේ ඉසුරු උදාන පමණයි. ඔහු නොදැවී ක්‍රීඩා කරමින් පන්දු 14ක දී ලකුණු 17*ක් ලබා ගත්තේ එක් 4 පහරක් සහ එක් 6 පහරක් එල්ල කරමිනි.

දෙරට අතර පසුගිය දා පැවති පළමු තරගයේ දී ද නිලකුණු පන්දු 45ක් ශ්‍රී ලංකා ඉනිමේ සටහන් වුනු අතර මේ තරගයේ දී වාර්තා වුනු නිලකුණු පන්දු ප්‍රමාණය 42ක්. ඒ කෙසේ නමුත් පළමු තරගයේ දී ලබා ගත් ලකුණු 129 අභිබවා යාමට මේ තරගයේ දී ශ්‍රී ලංකාවට හැකියාවක් ලැබුණේ නැහැ.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න:  

පළමු තරගයේ දී නොදැවී ලකුණු 68*ක් ලබා ගත් Jos Buttlerගේ පාදයක කලව ආශ්‍රිත මස්පිඩු ඇදීමක් නිසා මේ තරගය ක්‍රීඩා කළේ නැහැ. ඒ නිසාවෙන් ලකුණු 112ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණියේ Jason Roy සහ Jonny Bairstow යන දෙදෙනායි.

පළමු පන්දුවාර 7 අවසන් වන විට ලකුණු 36ක් තුල එංගලන්ත කඩුලු 4ක් දවා ගනිමින් ශ්‍රී ලංකාව ඉතාමත් හොඳ පීඩනයක් ගොඩනංවා තිබුණු නමුත්, ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු ප්‍රමාණය ප්‍රමාණවත් නොවුණු නිසාවෙන් එම පීඩනය තවදුරටත් එංගලන්තය දෙසට යොමු කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි වෙහෙසක් දීමට සිදු වුනා. 

කෙසේ නමුත් අවසානයේ දී Liam Livingstone සහ Sam Billings එක්ව පස්වැනි කඩුල්ල සඳහා ගොඩනැංවූ ලකුණු 54 සබඳතාවය අඩිතාලමක් කරගනිමින් මේ තරගය ජය ගැනීමට එංගලන්තයට හැකියාව ලැබුණා.

එංගලන්ත ඉනිමේ පන්දුවාර 12ක් අවසානයේ දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා එංගලන්තයට සිය ජයග්‍රහණය සඳහා ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 18ක දී ලකුණු 103ක ඉලක්කයක් හඹා යාමට සිදු වුනා.

එහි දී 4 පහර දෙකක් එල්ල කරමින් පන්දු 29ක දී ලකුණු 24ක් ලබාගෙන සිටි Sam Billings එංගලන්ත ඉනිමේ පස්වැනි කඩුල්ල ලෙස දැවී ගියා. Liam Livingstone (ලකුණු 29*) සමඟින් එක්වුණු Sam Curran (නොදැවී ලකුණු 16*) ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ලැබුණු ලකුණු 103 ඉලක්කය වෙත එංගලන්තය රැගෙන ගියා.

පන්දු යැවීමේ දී වනිඳු හසරංග කඩුලු දෙකක් දවා ගත් අතර දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු සහ ඉසුරු උදාන අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

  • තරගයේ වීරයා – Liam Livingstone (එංගලන්තය)

ලකුණු සාරාංශය,

ශ්‍රී ලංකාව – 111/7 (20) – කුසල් මෙන්ඩිස් 39 (39), කුසල් පෙරේරා 21(25), Mark Wood 2/18, Adil Rashid 2/24

එංගලන්තය – 108/5 (16.1) – Liam Livingstone 29* (26), Sam Billings 24 (29), වනිඳු හසරංග 2/20

ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව එංගලන්තයට කඩුලු 5ක ජයක්

දෙඅරට අතර පැවැත්වෙන තුන්වැනි සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගය හෙට (26) Southampton හිදී ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 7ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. එහි තොරතුරු ද ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<