Home Sinhala ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ වෑයම ඉන්දියාව පහසුවෙන් හඹා යයි

ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ වෑයම ඉන්දියාව පහසුවෙන් හඹා යයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2022

811

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (26) Dharamasala හිදී නිමා වුනේ ඉන්දියාව කඩුලු 7ක පහසු ජයක් අත්කර ගනිමින්. ඒ අනුව තවත් තරගයක් ඉතිරිව තිබිය දී 2-0ක් ලෙස තරගාවලිය ජය ගැනීමට ඉන්දියාව සමත් වුනා.

ඉන්දියාව අවසන් වරට ක්‍රීඩා කළ විස්සයි විස්ස තරග 11ම සහ ඔවුන්ගේ රටේ ක්‍රීඩා කර තිබෙන අවසන් විස්සයි විස්ස තරගාවලි 7ම ජයගෙන තිබීම සුවිශේෂී වෙනවා.

දුෂ්මන්ත චමීර ලෝක වාර්තාවක් තබමින් විස්සයි විස්ස තරග රටාව තුල එක් ක්‍රීඩකයෙක් 5 වරක් දවා ගත් ලොව පළමු සහ එකම පන්දු යවන්නා බවට පත්වීමට සමත් වුනේ Rohit Sharmaගේ කඩුල්ල නැවත වරක් දවා ගනිමිනුයි.

අද තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දු යැවීමට තීරණය කළා. ශ්‍රී ලංකාව වෙනස්කම් දෙකක් සිදු කරමින් ජෙෆ්රි වැන්ඩර්සේ සහ ජනිත් ලියනගේ වෙනුවට බිනුර ප්‍රනාන්දු සහ ධනුෂ්ක ගුණතිලක අද තරගය සඳහා කණ්ඩායමට කැඳවා තිබුණා.

පළමු තරගය ලකුණු 62කින් ජය ගත් ඉන්දියාව ජයග්‍රාහී මානසිකත්වයක් ද සමඟ තරගයට පිවිසුණේ සිය කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදු නොකරමින්.

දෙවැනි විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

ඉන්දියාව – Ishan Kishan, Rohit Sharma, Shreyas Iyer, Sanju Samson, Deepak Hooda, Venkatesh Iyer, Ravindra Jadeja, Harshal Patel, Bhuvneshwar Kumar, Jasprit Bumrah, Yuzvendra Chahal

ශ්‍රී ලංකාව – Pathum Nissanka, Kamil Mishara, Charith Asalanka, Danushka Gunathilaka, Dinesh Chandimal (wk), Dasun Shanaka (නායක), Chamika Karunaratne, Dushmantha Chameera, Praveen Jayawickrama, Lahiru Kumara, Binura Fernando

ශ්‍රී ලංකා ඉනිම ආරම්හ කරමින් ගුණතිලක සහ නිස්සංක පිටියට පිවිසි අතර ඔවුන් දෙදෙනාට එරෙහිව Bhuvneshwar සහ Bumrah සාර්ථක ලෙස පළමු පන්දුවාර 4 ක්‍රියාත්මක කළා.

ඔවුන්ගේ දෝලනය වන පන්දු හමුවේ සිය කඩුලු රැකගෙන සෙමින් සිය සබඳතාවය සවිමත් කර ගත් ගුණතිලක සහ නිස්සංක 5 වැනි පන්දුවාරයේ සිට සැලකිය යුතු මට්ටමේ ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගනිමින් පන්දුවට පහර දුන්නා.

පළමු පන්දුවාර 6 අවසානයේ කිසිවෙක් නොදැවී ලකුණු 32ක් ලබා ගත් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා Powerplay අවස්ථාව නිමා වීමෙන් පසුව ක්‍රියාත්මක වුනු පන්දුවාර දෙකේ දී ලකුණු 9ක් සහ ලකුණු 10ක් ලබා ගත්තා.

අනතුරුව Jadeja ක්‍රියාත්මක කළ පන්දුවාරයේ පළමු පන්දු 3ට ලකුණු 16ක් ලබා ගත් ගුණතිලක එම පන්දුවාරයේ සිව්වැනි පන්දුවේ දී දවා ගැනීමට ඉන්දියාව සමත් වුනා. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනෙකු ගෙවී ගිය විස්සයි විස්ස ඉනිම් 24 තුල ලබා ගත් සාර්ථකම ආරම්භක සබඳතාවය එයයි.

පන්දු 28ක දී ලකුණු 39ක් ලබා ගත් වමත් පිතිකරු ගුණතිලකගේ දැවී යාමට පසුව පිටියට පැමිණි අනෙක් වමත් පිතිකරුවන් දෙදෙනා වුනු අසලංක සහ මිශාර හට ද සාර්ථක වීමට Chahal සහ Patel අවස්ථාව ලබා දුන්නේ නැහැ.

එතෙක් වේලාවක් කඩුල්ලේ රැඳී සිටිමින් තණතීරුවේ හැසිරීම පිළිබඳව මනා අවබෝධයක් ලබාගෙන සිටි නිස්සංක සිය කඩුල්ලේ වටිනාකම තේරුම් ගනිමින් ඉන්දීය දුර්වල පන්දු හමුවේ ඉතාමත් හොඳින් පහර දෙමින් ලකුණු ලබා ගත්තා. ඉනිමේ 15 වැනි පන්දුවාරයේ දී චන්දිමාල් ලකුණු 19කට දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු සටහන 102/4ක් ලෙස දිස්වුනා.

අනතුරුව නිස්සංක සමඟ පිටියේ එක්වූ නායක ශානක පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 26ක දී ලකුණු 58ක සබඳතාවයක් ගොඩනැංවූවා. ශානක පන්දු 19ක දී නොදැවී ලකුණු 47*ක් ලබා ගත්තේ 4 පහර 2ක් සහ 6 පහර 5ක් එල්ල කරමින්.

ශානකට සිය සුපුරුදු පිතිකරණ දස්කම් සඳහා අවශ්‍ය වේදිකාව සකස් කර දුන් නිස්සංක පන්දු 53ක දී ලකුණු 75ක් ලබා ගත්තේ සිය 5 වැනි අර්ධ ශතකය වාර්තා කරමිනුයි. නිස්සංකගේ කෙටි ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ මෙතෙක් වාර්තා වුනු හොඳම විස්සයි විස්ස ඉනිම ද එයයි.

අවසන් පන්දුවාර 4 තුල ලකුණු 72ක් ඉන්දියාවෙන් උදුරා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 183ක සාර්ථක සහ අභියෝගාත්මක ලකුණු ප්‍රමාණයක් වෙත යාමට ශ්‍රී ලංකාවට හැකි වුනා.

ශ්‍රී ලංකා පන්දු රැකීමේ දුර්වලතා සහ පන්දු යැවීමේ දී වූ අඩුපාඩු නිසාවෙන් ඉන්දියාව පන්දුවාර 17කුත් පන්දුවක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 184ක ඉලක්කය හඹා ගියා.

එහි දී Shreyas නොකඩවා ලබා ගත් සිය දෙවැනි අර්ධ ශතකය වාර්තා කරගනිමින් පන්දු 44ක දී ලකුණු 74ක් ලබා ගත්තා. එය ඔහුගේ 5 වැනි විස්සයි විස්ස අර්ධ ශතකයයි. Shreyasගේ මේ සුපිරි ඉනිම 4 පහර 6කින් සහ 6 පහර 4කින් වර්ණවත් වුනා.

චමීර සහ කුමාර Sharma සහ Kishanගේ කඩුලු දවා ගනිමින් තරගයට සාර්ථක ආරම්භයක් ලබා දීමට සමත් වුනත්, තෙවැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වුණු Samson සහ Shreyas පන්දු 47ක දී වේගවත් ලකුණු 84ක සබඳතාවයක් ගොඩනැංවූවා.

Samsonගේ කඩුල්ල ලකුණු 35කට දවා ගැනීමට කුමාර සමත් වුනත්, ඒ වෙනුවෙන් පිටියට පිවිසි Jadeja පන්දු 18ක දී නොදැවී ලකුණු 45*ක් ලබාගෙන සුපිරි ප්‍රහාරයක් දියත් කරමින් ඉන්දියාවේ ජයග්‍රහණය වේගවත් කළා.

පන්දු යැවීමේ දී ලහිරු කුමාර ලකුණු 31කට කඩුලු 2ක් දවා ගත්තා. දෙරට අතර පැවැත්වීමට නියමිත තෙවැනි සහ අවසන් විස්සයි විස්ස තරගය හෙට (27) මේ ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

තරගයේ වීරයා – Shreyas Iyer


Result


Sri Lanka
183/5 (20)

India
186/3 (17.1)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka lbw b 75 53 0 0 141.51
Dhanushka Gunathilake c & b 38 29 0 0 131.03
Charith Asalanka lbw b 2 5 0 0 40.00
Kamil Mishara  c & b 1 4 0 0 25.00
Dinesh Chandimal c & b 9 10 0 0 90.00
Dasun Shanaka not out 47 19 0 0 247.37


Extras 11 (b 0 , lb 7 , nb 0, w 4, pen 0)
Total 183/5 (20 Overs, RR: 9.15)
Bowling O M R W Econ
Bhuvneshwar Kumar 4 0 36 1 9.00
Jasprit Bumrah 4 0 24 1 6.00
Deepak Chahar 4 0 52 1 13.00
Yuzvendra Chahal 4 0 27 1 6.75
Ravindra Jadedja 4 0 37 1 9.25


Batsmen R B 4s 6s SR
Rohit Sharma b 1 2 0 0 50.00
Ishan Kishan c & b 16 15 0 0 106.67
Shreyas Iyer not out 74 44 0 0 168.18
Sanju Samson c & b 39 25 0 0 156.00
Ravindra Jadedja not out 45 18 0 0 250.00


Extras 11 (b 0 , lb 2 , nb 1, w 8, pen 0)
Total 186/3 (17.1 Overs, RR: 10.83)
Bowling O M R W Econ
Dushmantha Chameera 3.1 0 39 1 12.58
Binura Fernando 4 0 47 0 11.75
Lahiru Kumara 3 0 31 2 10.33
Praveen Jayawickrama 2 0 19 0 9.50
Chamika Karunaratne 3 0 24 0 8.00
Dasun Shanaka 2 0 24 0 12.00



තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<