ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය ඇරඹෙයි!

World Athletic Championship 2023

1895

රටවල් 202ක් නියෝජනය කරමින්, මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2000කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව පැවැත්වීමට නියමිත 2023 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය හෙට (19) හංගේරියාවේ බුඩාපේස්ට් හිදි ආරම්භ වීමට නියමිතයි. 

ශ්‍රී ලංකා සහභාගීත්වය  

මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත් දෙනෙකු සහභාගී වන අතර එහි දී පිරිමි මීටර් 400 ඉසව්ව වෙනුවෙන් අරුණ දර්ශන, කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්ව වෙනුවෙන් නදීශා ලේකම්ගේ සහ පිරිමි 400×4 ඉසව්ව වෙනුවෙන් ක්‍රීඩකයින් හය දෙනෙකු (අරුණ දර්ශන ද ඇතුළුව) මෙවර තරග වැදීමට නියමිතයි. 

මීට අමතරව මීටර් 100 ඉසව්ව වෙනුවෙන් යුපුන් අබේකෝන් සහ මීටර් 1500 ඉසව්වෙන් ගයන්තිකා අබේරත්න ද මෙවර තරගාවලිය වෙනුවෙන් සුදුසුකම් ලබා ගත්තත් ඔවුන් පසුව තරගාවලියට සහභාගී නොවීමට තීරණය කළ බව දන්වා සිටියා.

ලෝක මට්ටමේ බලාපොරොත්තු  

ලෝක මට්ටමේ මලල ක්‍රීඩාවේ සුපිරි තරු සියල්ලක් ම පාහේ මෙවර තරගාවලියට සහභාගී වීමට නියමිත අතර, එම නිසාම මලල ක්‍රීඩාලෝලීන් මඟ හැර නොගත යුතු මට්ටමේ ඉසව් ගණනාවකින් මෙවර තරගාවලිය සමන්විත වනු ඇති බව අනුමාන කළ හැකි. 

පිරිමි මීටර් 100 ඉසව්වෙන් යුපුන්ව දැක ගැනීමට අවස්ථාව නොලැබුණත් Fred Kerley, Noah Lyles, Ferdinand Omanyala සහ Akani Simbine යන ක්‍රීඩකයින් අතර තියුණු තරගයක් දැක බලා ගැනීමට අවස්ථාව හිමි වනු ඇති.

එමෙන්ම මීටර් 200 පිරිමි ඉසව්වෙන් ද Noah Lyles, Erriyon Knighton සහ බොට්ස්වානා දේශයෙන් බිහි වූ නවක ධාවන ශූරයා Letsile Tebogo වැනි මලල ක්‍රීඩකයින් ධාවනයේ යෙදීමට නියමිතයි.

මීට අමතරව මීටර් 400 පිරිමි ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන දකුණු අප්‍රිකාවේ Wayde van Niekerk නැවතත් සිය රිද්මය සොයා ගැනීමට සමත්ව ඇති බව මීට පෙර තරගවල දී ඉඟි කර තිබුණා. ඔහුට අමතරව ඇමරිකාවේ Michael Norman සහ ග්‍රැනේඩාවේ Kirani James වැනි මීටර් 400 ඉසව්වේ විශිෂ්ටතමයින් මෙවර ශූරතාවයේ දී තරග වැදීමට නියමිතයි.

මේ අතර කාන්තා මීටර් 100 ඉසව්ව වෙනුවෙන් ඇමරිකාවේ Sha’Carri Richardson සහ ජැමෙයිකාවේ Shericka Jackson, Shelly-Ann Fraser-Pryce යන අය අතර තියුණු තරගයක් බලාපොරොත්තු විය හැකි.

නමුත් මෙවර තරගාවලියේ මීටර් 400 ඉසව්වෙන් විශේෂ යමක් සිදු කරනු ඇති බවට බොහෝ දෙනා විශ්වාසය පළ කළ ඇමරිකානු ක්‍රීඩිකා Sydney McLaughlin-Levrone හට ඇති වූ ආබාධයක් නිසා අවාසනාවන්ත ලෙස මෙවර තරගාවලිය අහිමි වී ගියා. ඇය මෙවර ලෝක ශූරතාවේ විශාලතම අහිමි වීම බව සඳහන් කළ හැකි.

කෙසේ වෙතත් මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන Karsten Warholm මෙවර තරගාවලියේ දී සිය දක්ෂතාව කෙතරම් දුරක් රැගෙන යාවි ද යන්න නම් දැක ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති.

මීට අමතරව මෙම වසරේ වඩාත් සාර්ථක ම මලල ක්‍රීඩිකාව ලෙස හඳුන්වා දිය හැකි කෙන්යාවේ Faith Kipyegon (මේ වසරේ දී ලෝක වාර්තා තුනක් අලුත් කිරීමට සමත් වුනා.) මෙන්ම නෝර්වේ හි Jakob Ingebrigtsen පිළිබඳව ද මෙවර තරගාවලියේ දී වැඩි අවධානයක් යොමු වනු ඇති.

ඒ හැරුණු කොට පිරිමි රිටි පැනීමේ ඉසව්වේ වත්මන් ලෝක ශූරයා Armand Duplantis, කාන්තා තුන්පිම්ම ඉසව්වෙන් Yulimar Rojas, පිරිමි දුර පැනීමේ ඉසව්වෙන් Miltiadis Tentoglou සහ ඉන්දියාවේ Jeswin Aldrin, පිරිමි උස පැනීමේ ඉසව්වෙන් Mutaz Essa Barshim, කාන්තා උස පැනීමෙන් Nicola Olyslagers, පිරිමි මිටිය විසි කිරීමෙන් Pawel Fajdek මෙන්ම පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ඔලිම්පික් රන් පදක්කම් ලාභී ඉන්දියාවේ Neeraj Chopra වැනි ක්‍රීඩක/ක්‍රීඩිකාවන් රැසක් පිළිබඳ ලෝකයේ අවධානය යොමු වී තිබෙනවා. 

තරගාවලිය හෙට දිනයයේ ආරම්භ වීමෙන් අනතුරුව අගෝස්තු 27 වැනිදා තෙක් පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ.

2023 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

Olympics ඇසුරිනි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<