ආබාධ නිසා ඉන්දියාව විශාල ගැටලුවක්

ටෙස්ට් ලෝක ශූරතාවය 2023-24

1374

ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් ලෝක ශූරතාවයේ අවසන් මහා තරගයට නම් කළ ඉන්දීය සංචිතයට ඇතුළත් වූ Jaydev Unadkat සහ KL Rahul ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ආබාධවලට ලක් වූ නිසා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුනා.

KL Rahulට ටෙස්ට් ශූරතාවයේ අවසන් තරගය ද අහිමි වන නමුත් Unadkat තරගයට පෙර සුව අතට හැරෙනු ඇතැයි ඉන්දීය බලධාරීන් බලාපොරොත්තුවෙන් පසු වෙනවා.

ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ගවලට අනුව Unadkat ඉන්දීය ප්‍රිමියර් ලීග් කණ්ඩායමෙන් ඉවත්ව ඉන්දීය ක්‍රිකට් වෛද්‍ය ආයතනයට ගොස් ඇති අතර එහි වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ඔහු නැවත සුව වීමේ ක්‍රියාවලිය සඳහා මුහුණ දෙමින් සිටිනවා.

ඔහුට පසුගිය සතියේ ශල්‍යකර්මයක් සිදු කිරීමෙන් පසු ඔහු අවසන් මහා තරගයට පෙර සුවය ලබන ඇතැයි බලධාරීන් අපේක්ෂා කරන අතර අවසන් මහා තරගයට නම් කළ සංචිතයට ඇතුළත් වන එකම වමත් වේගපන්දු යවන්නා ද ඔහුයි.

ඔහු මේ දක්වා ටෙස්ට් තරග දෙකක් සහ එක්දින තරග හතක් සඳහා ඉන්දීය කණ්ඩායම නියෝජනය කර තිබෙන අතර 2022 වසරේ බංග්ලාදේශයට එරෙහිව අවසන් ටෙස්ට් තරගය ක්‍රීඩා කළ ඔහු මෑත කාලයේ දේශීය ක්‍රීඩා පිටියේ දැක්වූ ඉහළ දස්කම් නිසා කණ්ඩායමට කැඳවනු ලැබුවා.

අවසන් සංචිතයට නම් කළ තවත් වේගපන්දු යවන්නන් දෙදෙනෙකු වන Shardul Thakur සහ Umesh Yadav ද තරමක ආබාධ තත්වයකින් පෙළෙන නමුත් Shardul Thakur තරග කිහිපයක් විවේක ගැනීමෙන් පසු පසුගිය දා පැවති තරගයකට ක්‍රීඩා කළා.

Umesh Yadav පාදයේ ඇති වූ ආබාධයක් නිසා පසුගිය තරග කිහිපය ක්‍රීඩා නොකළ අතර මෙම සියලු ක්‍රීඩකයින්ගේ ආබාධ තත්වයන් පිළිබඳ අවසන් වාර්තා පැමිණෙන තුරු ඉන්දීය ක්‍රිකට් බලධාරීන් අවධානයෙන් පසු වෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<