ශ්‍රී ලංකාවට පළමු තරග දෙකම අභියෝගාත්මක වෙයි

2023 Asian Men's Volleyball Challenge Cup

1197

චීන තායිපේ රාජ්‍යයේ දී රටවල් 17ක සහභාගීත්වයෙන් පැවැත්වෙන ආසියානු පිරිමි වොලිබෝල් ශූරතාවලිය සඳහා සහභාගී වෙන ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන් සහභාගී වූ පළමු දෙකෙන්ම පරාජයට පත්වුනා.

F කාණ්ඩය ඔස්සේ තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකාව එහි දී පරාජය වුනේ පිළිවෙළින් ඉන්දුනීසියා සහ බහරේන් කණ්ඩායම්වලටයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව

තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය වූ මෙය තරග වට 3-1ක් ලෙස අවසන් වන්නේ ඉන්දුනීසියාව ජයග්‍රහණය වාර්තා කරමිනුයි. ජූලි 8 වැනිදා තායිපේ විශ්වවිද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ ආරම්භයේ සිටම කරට කර තරග විලාසයක් දක්නට ලැබුණු අතර 21-25ක් ලෙස පළමු වටය අවසන් වුනේ ඉන්දුනීසියා ක්‍රීඩකයින් ජයග්‍රහණය වාර්තා කරමිනුයි.

දෙවැනි වටයේ දී ශ්‍රී ලංකාවට තරමක් අභියෝගත්මක ප්‍රහාරයක් ඉන්දුනීසියා ක්‍රීඩකයින්ගෙන් එල්ල වූ අතර එම වටය අවසන් වුනේ 19-25ක් ලෙසයි. කෙසේ නමුත් තෙවැනි අර්ධයේ දී සාර්ථකව පෙරළා අභියෝග කරමින් තරගයට පිවිසෙන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුනේ 25-20ක් ලෙස තෙවැනි වටය ජයග්‍රහණය කරමිනුයි.

නමුත් ඒ ජයග්‍රාහී රිද්මය එකදිගට පවත්වා ගන්නට ප්‍රතිවාදී ඉන්දුනීසියානු ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට අවස්ථාව ලබා දුන්නේ නැහැ. සිව්වැනි වටයේ දී 17-25ක් ලෙස ශ්‍රී ලංකාව අසරණ කරමින් 82-95ක් ලෙස තරගය ජයග්‍රහණය කරන්නට ඉන්දුනීසියාව සමත් වුනා.

මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයින් මහේල ඉන්දීවර සහ තරුෂ චමත් පිළිවෙළින් ලකුණු 25ක් සහ 15ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා කළා.

ශ්‍රී ලංකාව සහ බහරේන්

ජූලි 9 වැනිදා පළමු තරගය පැවති ක්‍රීඩා පිටියේ දී ම පැවති මෙම තරගයෙන් තරග වට 3-1ක් ලෙස ජයග්‍රහණය වාර්තා කළේ බහරේන් ක්‍රීඩකයින් විසිනුයි.

ඉතාමත් තියුණු ආරම්භයක් සමඟින් කණ්ඩායම් දෙකම තරගයට පිවිසි අතර පළමු වටය නිමා වන්නේ 26-28ක් ලෙස අතිරේක ලකුණු දක්වා ලකුණු පුවරුව දිග්ගැස්සෙමිනුයි. ඉන් අනතුරුව ආරම්භ වූ දෙවැනි වටයේ දී ලකුණු 5ක පරතරයක් සමඟින් නැවතත් ජයග්‍රහණය වාර්තා කරන්නට බහරේන් ක්‍රීඩකයින් සමත් වුනා.

තරගයේ තවදුරටත් රැඳී සිටීම සඳහා තීරණාත්මක වූ තෙවැනි වටයේ දී ද හොඳ අභියෝගයක් ලබා දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 28-26ක් ලෙස තෙවැනි වටය ජයග්‍රහණය කරන්නට සමත් වුනා. තෙවැනි වටය එසේ නිමා වීම නිසා සිව්වැනි වටය ජයග්‍රහණය කිරීමට බහරේන් ක්‍රීඩකයින් තීරණාත්මක වූ අතර ඔවුන් 24-26ක් ලෙස එම වටය ජයග්‍රහණය කරමින් 98-105ක් ලෙස තරගය ජයග්‍රහණය කරන්නට සමත් වුනා.

ශ්‍රී ලංකාව සහභාගී වන තෙවැනි තරගය එළඹෙන 12 වැනිදා පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න <<