ආසියානු වොලිබෝල් ශූරතාවයක් සොයන ශ්‍රී ලංකාව

2023 Asian Men's Volleyball Challenge Cup

356

රටවල් 17ක සහභාගීත්වයෙන් චීන තායිපේ රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත ආසියානු පිරිමි වොලිබෝල් ශූරතාවලිය සඳහා සහභාගී වෙන ශ්‍රී ලංකා කණ්ඩායම F කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතයි.

මෙම තරගාවලිය මේ මස 06 වැනිදා සිටි 16 වැනිදා දක්වා පැවැත්වෙන අතර තරගාවලියේ දී පළමු වටයේ දී ශ්‍රී ලංකාව සමඟින් ඉන්දුනීසියාව සහ බහරේන් රාජ්‍යයන් එකිනෙකා හමුවෙනවා.

තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වෙන තරග කාලසටහන

  • ජූලි 08 උ‍දේ 10.00ට ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර
  • ජූලි 09 සවස 12.30ට ශ්‍රී ලංකාව සහ බහරේන් අතර

“තරගාවලිය වෙනුවෙන් අපි හොඳ සූදානමකින් සහභාගී වෙන්නේ. සියලු දෙනා හොඳ විශ්වාසයකින් පසු වෙනවා. ඒ නිසා ම මෙවර තරගාවලියේ දී විශේෂිත යමක් කරන්න පුළුවන් කියන විශ්වාසය අපි හැමෝට ම තියෙනවා.”

ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමේ නායක දීප්ති රොමේෂ් සංචාරයට එක් වීමට පෙර ThePapare.com සමඟින් පැවැසුවා.

සිව්වැනි වරටත් පැවැත්වෙන මෙම තරගාවලියේ දී ආරම්භක තරගාවලියේ දී ම තෙවැනි ස්ථානය හෙවත් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙනවා. 2018 වසරේ දී පැවති එම තරගාවලිය ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වුනා.

Photos – Sri Lanka Squad Practice Session – Asian Men’s Volleyball Challenge Cup 2023

තරග ඉතිහාසයේ ලෝකඩ පදක්කම දිනූ වසරේ දී තරගාවලියේ දක්ෂතම Spikers ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගැනීමට දීප්ති රොමේෂ් සමත් වෙද්දී, දක්ෂතම Libero ක්‍රීඩකයා ලෙසින් ලක්මාල් විජේසේකර සම්මාන දිනා ගත්තා.

ඒ මතකයත් සමඟිනුයි ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියට එක් වෙන්නේ.

ආසියානු පිරිමි වොලිබෝල් ශූරතාවලියේ ජයග්‍රහණ බෙදී ගිය ආකාරය:

වසර සත්කාරකත්වය රන් පදක්කම රිදී පදක්කම ලෝකඩ පදක්කම සහභාගීත්ව රටවල් ප්‍රමාණය
1 2018 ශ්‍රී ලංකාව ඉරාකය සෞදි අරාබිය ශ්‍රී ලංකාව 8
2 2020 කිර්ගිස්තානය Covid 19 හේතුවෙන් නොපවත්වන ලදි.
3 2022 කිර්ගිස්තානය කිර්ගිස්තානය සෞදි අරාබිය උස්බෙකිස්තානය 4

මෙම තරගාවලිය සඳහා මෙතෙක් ශ්‍රී ලංකාව සහභාගී වී ඇත්තේ සත්කාරකත්වය ලබා දුන් 2018 වසරේ දී පමණයි. ඉන් අනතුරුව 2020 වසරේ දී කිර්ගිස්තානය (Kyrgyzstan) සත්කාරකත්වයෙන් තරගාවලිය පැවැත්වීමට නියමිත වූව ද, Covid 19 තත්ත්වය හේතුවෙන් එවර තරගාවලිය නොපවත්වන ලදි.

ඊට පසුව එම රටේ ම සත්කාරකත්වයෙන් 2022 වසරේ දී මෙම තරගාවලිය සංවිධානය වූ අතර එහි දී ඊට සහභාගී වූයේ සත්කාරකයන් සමඟින් තවත් රටවල් 3ක් පමණයි. ඒ සෞදි අරාබිය, උස්බෙකිස්තානය සහ මොන්ගෝලියාව යන රටවල් පමණයි. එබැවින් ශ්‍රී ලංකාව මෙම තරගාවලිය හා මෙවර එක් වෙන්නේ දෙවැනි වරටයි.

“ඇත්තට ම අපිට හොඳ කණ්ඩායමක් ඉන්නවා. ප්‍රතිවාදීන්ට හොඳ අභියෝගයක් ලබා දෙන්න පුළුවන් මට්ටමේ කණ්ඩායමක් ඉන්නේ. අපි විශ්වාස කරනවා මෙවර 2018 වසරේ දී පෑ දක්ෂතා අභිබවා යෑමට හැකි දක්ෂතා දක්වන්න පුළුවන් කියලා,” දීප්ති රොමේෂ් පවසනවා.

31 හැවිරිදි වියේ පසුවෙන දීප්ති දැනට වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම නියෝජනය කරන පළපුරුදු දක්ෂ ක්‍රිඩකයෙක්. මෙරට පිටියේ දී පමණක් නොවේ විදෙස් පිටියේ දී ද ඔහුගේ දක්ෂතා ඉතා ඉහළ මට්ටමක පවතිනවා.

තායිලන්තයේ Nakhon Ratchasima වොලිබෝල් කණ්ඩායම නියෝජනය කරන දිප්ති එරට පැවති Thai-Denmark සූපර් ලීග් තරගාවලියේ දී එම කණ්ඩායමට රන් පදක්කම දිනා දීමට දක්ෂතා පුද කළ ක්‍රීඩකයෙක්. එමෙන් ම මෙරට ජාතික ශූරතා වොලිබෝල් තරගාවලියන් රැසක දක්ෂතම ප්‍රහාරකයා ලෙසින් සම්මාන දිනා ඇති දිප්ති 2019 වසරේ දී පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත් වෙමින් සාග් තරගාවලියේ දී ලෝකඩ පදක්කමක් මෙරට ට දිනා ගැනීමට උර දුන් නායකයා ලෙසින් ද ඉතිහාසයට එක් ව සිටිනවා.

“අපේ කණ්ඩායමේ සුවිශේෂී දක්ෂතා දක්වන ක්‍රීඩකයන් රාශියකගෙන් සමන්විතයි. ඒ නිසා අපිට විශ්වාසයකින් යුතුව තරග බිමට පිවිසිය හැකියි,” දීප්ති පවසනවා.

දීප්තිගේ සහායකයා ලෙසින් කටයුතු කරන්නේ 29 හැවිරිදි වියේ පසුවෙන ලසිඳු මෙත්මාල්. ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමේ නායකයා ලෙසින් අවස්ථා කිහිපයක දී ම කටයුතු කර ඇති ලසිඳු, 2021 වසරේ බංග්ලාදේශයේ දී පැවති මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවලිය දිනා ගත් කණ්ඩායමේ නායකයා ද වනවා.

වර්තමානයේ ඔහු මැලේසියාවේ Selangor Lion කණ්ඩායම නියෝජනය කරමින් එරට ප්‍රධාන තරගාවලි නියෝජනය කරනවා.

ඔහුට අමතරව 23 හැවිරිදි වියේ පසුවෙන් මහේල ඉන්දීවර ද කණ්ඩායමේ සිටින පරිණත ක්‍රීඩකයෙක් ලෙසින් හැඳින්විය හැකි. ශූරතාවය දිනූ මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවලියේ දක්ෂතම ප්‍රහාරකයා ලෙසින් පත් වීමට ද ඔහු සමත් වුනා.

එමෙන් ම ස්විස්ටර්ලන්තයේ Volley Schonenwerd කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙසින් එරට ප්‍රමුඛ වොලිබෝල් තරගාවලි නියෝජනය කරන මහේල, එරට ප්‍රමුඛ තරගාවලිය වන Swiss ලීග් තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනා ගැනීමට ද සමත් වුනා.

ඔහුට අමතර ව මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවලියේ හොඳම පන්දු සකසන්නා ලෙසින් සම්මාන දිනූ දනුෂ්ක දිල්ශාන් ද මෙම කණ්ඩායම නියෝජනය කරන අතර මෙරට වොලිබෝල් පිටියේ සුවිශේෂී දක්ෂතා දක්වන ක්‍රීඩකයන් රැසක ගෙන් ම මෙම කණ්ඩායම සමන්විතයි.

  • සංචාරයට එක් වෙන ශ්‍රී ලංකා කණ්ඩායම: දීප්ති රොමේෂ් (නායක) ලසිඳු මෙත්මාල් (උප නායක) මලීෂ රවිශාන්, ෂෙහාන් විමුක්ති, මහේල ඉන්දීවර, තරිඳු ලක්මාල්, සනුක මධුභාෂණ, වසන්ත ලක්මාල්, අයේෂ් දිල්හාන්, තරුෂ චමත්, මලිත් දිනිඳු, ෂොන් ලක්ෂිත, මහේෂ් වන්නිගමගේ, මනෝජ් සුරංග
  • නිලධාරීන්: අරුණ ශාන්ත (කළමණාකරු) චන්න ජයසේකර (ප්‍රධාන පුහුණුකරු) නිශාන් ඉන්දික (සහාය පුහුණුකරු) සුසිරි මංගල (අභ්‍යාසක)

“පසුගිය කාලයේ අපි හොඳ පුහුණුවක් ලබා ගත්තා. හැම ක්‍රීකයෙක් ම මෙම තරගාවලිය වෙනුවෙන් ගොඩක් වෙහෙස මහන්සි වුනා. පුහුණුකරුවන් ඇතුළු සියලුම නිලධාරීන් ද අපිත් සමඟ සිටියා. අපි වගේ ම මහන්සි වුනා.  අපි අපේ උපරිමයෙන් මෙම තරගාවලියට එක් වෙනවා.

පළමු වටයේ දී හමුවෙන බහරේන් සහ ඉන්දූනීසියාව මේ දක්වා මෙම තරගාවලි ඉතිහාසයේ අවසන් වටයන් නියෝජනය නොකළ කණ්ඩායම් වූවත් ඔවුන් සමඟ ද ඉතා හොඳ සැලසුමකින් යුතුවයි අපි තරගාවලියට එක් වෙන්නේ. අපිට හමුවෙන කිසිදු කණ්ඩායමක් අපි අවතක්සේරුවේ දාන්නේ නැහැ. සෑම කණ්ඩායමක් ම හොඳ මට්ටමේ සිටින තැන සිටයි අපි තරගය සැලසුම් කරන්නේ, දීප්ති රොමේෂ් ThePapare.com සමඟ පැවසුවා.

මෙවර තරගාවලිය සඳහා සහභාගී වෙන රටවල්: චීන තායිපේ, ඕස්ට්‍රේලියාව, බහරේන්, හොංකොං, ඉන්දියාව, ඉන්දුනීසියාව, කසකස්තානය, මැකාවෝ, මොන්ගෝලියාව, පාකිස්තානය, පිලිපීනය, සෞදි අරාබියාව, දකුණු කොරියාව, තායිලන්තය, උස්බෙකිස්තානය, වියට්නාමය සහ ශ්‍රී ලංකාව

තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමට ThePapare.com හී සුබ පැතුම්!

තරගාවලියේ උණුසුම් පුවත් සඳහා රැඳෙන්න ThePapare.com සමඟින්.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න <<