ඔව් මට මාධ්‍ය ආයතනයක සම්බන්ධකමක් තිබ්බා – තිලංග සුමතිපාල

506

මේ දිනවල බොහෝ සෙයින් කතාබහට ලක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පිළිබඳව අද (01) තවත් නවතම පුවතක් වාර්තා විය. ඒ මැයි 19 වැනිදා එහි විශේෂ මහා සභා රැස්වීම පවත්වා මැයි මස 31 වැනිදා එහි වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්වෙන බව දැන ගන්නට ලැබීමයි.

නිශාන්ත රණතුංගත් ක්‍රිකට් නිලවරණයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයෙකු වන නිශාන්ත රණතුංග මහතා ඉදිරියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැත්වෙන ක්‍රිකට් නිලවරණය සඳහා තරග වදින බව තහවුරු කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී අද පැවති මාධ්‍ය හමුවක දී ඒ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ වත්මන් තත්වය පහදා දෙමින් එම තොරතුරු මාධ්‍යට පවසන ලදි.

නව ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තාපා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ව්‍යවස්ථාවට පටහැනි වාර්ෂික මහා සභා රැස්වීමක් කැඳවීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පසුගිය 27 වැනිදා තාවකාලිකව අත්හිටුවන ලදි. එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා නිලවරණය පැවැත්වෙන දිනය මැයි 19 වැනිදා බව මීට පෙර තහවුරු කර තිබුණි.

නව ක්‍රීඩා ඇමති ක්‍රිකට් නිලවරණය නතර කරයි?

නව ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තාපා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ව්‍යවස්ථාවට පටහැනි වාර්ෂික මහා සභා රැස්වීමක් කැඳවීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය තාවකාලිකව අත්හිටුවන ලකුණු පහල වී තිබේ.

“අපේ විශේෂ මහා සභාව කැඳවපු වෙලාවේ එහි ඇතිවෙචිච තත්වය මත ක්‍රීඩා අමාත්‍යාංශය අපට පැවසුවා විශේෂ මහා සභා රැස්වීමකින් නිලවරණ කමිටුව පත් කළොත් ඒක නීතිමය ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා කියලා. ඒක නිසා විශේෂ මහා සභා රැස්වීම (මැයි 19 වැනිදා) පවත්වලා එහි සාමාජිකයින්ගේ මතයට අනුව නිලවරණ කමිටුව පත්කරගෙන වාර්ෂික මහා සභා රැස්වීම මැයි මස 31 වැනිදාට කල්දාලා දෙන්න කියලා අපි අපි ගරු ඇමතිතුමන්ගෙන් ඉල්ලීමක් කළා.” යැයි තිලංග සුමතිපාල මහතා පවසන ලදි.

එම නිලවරණය සඳහා නාමයෝජනා භාර දිය හැකි අවසාන දිනය පසුගිය අප්‍රේල් 27 වැනිදා වූ අතර මේ වන විට සියලුම නාමයෝජනය භාරගෙන අවසන්ව ඇත. දැනට පවතින තත්වය අනුව මැයි මස 19 වැනි දින විශේෂ මහා සභා රැස්වීම පවත්වා අවසන් වූ පසුව එදිනම නිලධාරීන් මඩුල්ල පත්කර ගැනීමට නොහැකි නිසා 31 වැනිදා පැවැත්වෙන මහා සභා රැස්වීමේ දී විගණන වාර්තාව අනුමත කිරීම, ලේකම්ගේ වාර්තාව අනුමත කිරීම හා නව නිලධාරීන් මඩුල්ල පත් කරගැනීම සිදු කරනු ඇත.

“හැම ඡන්දෙ කාලෙකම මට මේ විවිධ මඩ ප්‍රචාර එනවා, ඒක සාමාන්‍ය දෙයක්, ඒ මඩ ගහන සුළු පිරිස සමාජය තුළ ප්‍රචාරය කරනවා ක්‍රිකට් ආයතනයේ සභාපති වෙලා ඉන්න ගමන් පුවත්පත් කිහිපයක ප්‍රධානියෙක් ලෙස මම කටයුතු කරනවා කියලා. මීට වසර 20කට වගේ උඩ මම ප්‍රධානියෙක් වෙලා හිටියා, නමුත් මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයට නාමයෝජනා භාරදෙද්දීම එම තනතුරු සියල්ලෙන්ම ඉවත් වෙලා ආවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉස්සර පාඩු ලබන ආයතනයක්, නමුත් දැන් මුදල් සංචිතයක් එක්ක ඉදිරියට යන්න අපිට පුළුවන් වෙලා තියෙනවා.” යැයි මාධ්‍යයට අදහස් දැක්වූ සුමතිපාල මහතා මෙහි දී පැවසීය.

1996 වසරේ දී ලෝක කුසලානය දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වූ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අර්ජුන රණතුංග මහතාගේ බාල සොහොයුරෙකු වන නිශාන්ත රණතුංග මහතා මීට පෙර 2016 වර්ෂයේ දී පැවති ක්‍රිකට් නිලවරණය සඳහා ද තරග කළේය. එහි දී එවකට ඔහු සමඟින් තරග කළ සියලුම අපේක්ෂකයින් පරාජය කරමින් වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා එම නිලවරණය ජයග්‍රහණය කළේය.

“මැච් පරදින කොට තමයි බුකියක් උඩට ගෙනල්ලා මට ඔක්කොම බනින්නේ, හැබැයි මැච් දිනන කොට ඔක්කොමල නිහඬයි. මම බෞද්ධයෙක් ලෙස එසේ පවසන සුළු පිරිසට කියන්න කැමතියි, මේ මඩ ගොහුරෙන් එලියට ඇවිල්ලා සාමාන්‍ය අවංක ජිවිතයකට ඇවිල්ලා වැඩ කරන්න, මිනිස්සුන්ට උපහාස අපහාස කරනකොට තමන්ටම ඒවා කවදා හරි වදිනවා.” යැයි සුමතිපාල මහතා පැවසුවේ සිය අතීත මතකයන් කිහිපයක් ද ආවර්ජනය කරමිනි.

අපි ආඩම්බර වෙනවා තිසරගේ හැසිරීම ගැන – තිලංග

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි පළාත් තරගාවලියේ මුහුරත් අවස්ථාව සඳහා එක්වූ ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල සහ ඇන්ජෙලෝ…

වත්මන් සභාපති ධූරය හොඹවන තිලංග සුමතිපාල මහතා පළමු වරට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරයට පත්වුයේ 2000 වර්ෂයේ දී වන අතර 2003 වසරේ පැවති නිලවරණය ද ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරයට පත්වීමට ඒ මහතාට හැකි විය.

නිලවරණයේ පවතින වත්මන් තත්වය පිළිබඳව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සුමතිපාල මහතා පැවසුවේ ක්‍රීඩා සංගම්වලින් 80% කට වඩා තමන්ට මෙවර නිලවරණයේ දී  සහය දක්වන බව ලිඛිතව දන්වා ඇති බවයි.

මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති වන තිලංග සුමතිපාල, උප සභාපතිවරුන් වන මොහාන් ද සිල්වා, කේ. මතිවානන්, එහි ලේකම් වන ගුවන් හමුදා කමාන්ඩර් රොෂාන් බියන්වල හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා යන මහත්වරුන් සහභාගී වී සිටියහ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<