පාසල් ක්‍රිකට් වීරවරියෝ ගාල්ලේ දී ගැටෙයි

58
1st Battle of tha Heroines

රත්ගම දේවපතිරාජ විද්‍යාලයීය සහ වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයීය බාලිකා ක්‍රිකට් කණ්ඩායම් අතර පළමු වරට පැවැත්වෙන “වීරවරියන්ගේ සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 27 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් බාලිකා ක්‍රිකට් තරගමාලාවන් හී ප්‍රමුඛ පෙළේ පාසල් ද්විත්වයක් වන දේවපතිරාජ සහ වාද්දූව දෙවිදුහල් මීට පෙර අවස්ථා කිහිපයක දී ම එකිනෙකා හමුව තිබෙනවා. ඒ අතුරින් ඔවුන් 2020/21 වසරේ දී බාලිකා පළමු කොටසේ තරගාවලියේ අවසන් මහා තරගයට ක්‍රීඩා එක් වීම විශේෂත්වයක්. එම තරගයෙන් දේවපතිරාජ ක්‍රීඩිකාවෝ ජයග්‍රහණය කරන ලද අතර ඊට පසුව ද විවිධ අවස්ථාවන් හි දී ඔවුනොවුන් හමුව තිබෙනවා.

කෙසේ වෙතත් දේවපතිරාජ විද්‍යාලය මෙම තරගයේ දී එක් වෙන්නේ 2023 වසරේ දී ශ්‍රී ලංකා පාසල් වයස අවුරුදු 19න් පහළ බාලිකා ක්‍රිකට් තරගාවලියේ ශූරියන් ලෙසයි. වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම ද පාසල් බාලිකා ක්‍රිකට් කණ්ඩායම් ලැයිස්තු ගත කිරිමේ දී පළමු කණ්ඩායම් අතර සිටින කණ්ඩායමක් ලෙසින් හැඳින්වෙනවා.

වීරවරියන්ගේ මංගල මහා ක්‍රිකට් තරගයේ දී දේවපතිරාජ විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සුමුදු නිසංසලා වෙතත් සහ වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මලිති අවිශ්කා වෙතත් හිමි ව තිබෙනවා.

දේවපතිරාජ විද්‍යාලය

ශ්‍රී ලංකා පාසල් බාලිකා ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ශූරතා ප්‍රමාණයකට හිමිකම් කියන දේවපතිරාජ විද්‍යාලය මෙම තරගයට එක් වෙන්නේ වඩාත් පළපුරුදු සහ දක්ෂතා සහිත ක්‍රීඩිකාවන් රාශියක් ද කැටිවයි.

කණ්ඩායමේ නායිකාව වන සුමුදු නිසංසලා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා එක් වෙමින් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට මෙන් ම පසුගියදා මෙරට දී අවසන් වූ එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව ද සහභාගී වූ තුන් කොන් ක්‍රිකට් තරගාවලියට ද සහභාගී වූ ක්‍රීඩිකාවක්.

එමෙන් ම රශ්මි නේත්‍රාංජලී ද ඇය සමඟින් මෙම තරගාවලි ද්විත්වය ම නියෝජනය කිරීමට සමත් වූවා.

ඔවුන්ට අමතර ව එම තුන්කොන් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම හා එක් වීමට උප නායිකා හිරුණි හංසිකා, සංජනා කාවින්දි, නෙතඟි සුරංජලී සහ සශිනි ගිම්හානි ද සමත් වූවා.

ඔවුන්ගේ සහභාගීත්වයත් සමඟින් මෙම තරගයේ දී වඩාත් තරගකාරී කණ්ඩායමක් දේවපතිරාජ විද්‍යාලය වෙතින් ඉදිරිපත් කෙරෙනු ඇතැයි සිතිය හැකියි.

දශකයට වැඩි දේවපතිරාජ බාලිකා ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී ක්‍රීඩිකාවෝ කිහිප දෙනෙක් ම ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර තිබීම විශේෂත්වයක්. ඒ අතර කවීෂා කල්හාරි, උමාෂා නිමේෂනී, සචිනි නිසංසලා, ඉමේෂා දුලානි, කාව්‍යා කාවින්දි, සහ සශිනි ගිම්හානි හැඳින්විය හැකියි.

1st Battle of tha Heroines

දේවපතිරාජ විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ බාලිකා ක්‍රිකට් කණ්ඩායම:

සුමුදු නිසංසලා (නායිකාව), හිරුණි හංසිකා (උප නායිකාව), ලක්ෂි අභිමානි, සංජනා කාවින්දි, රශ්මි නේත්‍රාංජලී, හිරුණිකා නිවර්තනී, මහිංසා නෙත්මිණි, දෙව්මි දහම්සා, හිරුණි කෞෂල්‍යා, ජනුනි කාවින්දි, විබුද්ධි හිරන්‍යා, අනිකි ඉමන්දි, ශෙහාරා ඉඳුවරී, චමල්ෂා දෙව්මිණි, නෙතඟි සුරංජලී, සෙනුරි වාසනා, චමීෂා නෙත්මි.

නිලධාරීන්: කේ. සෑම් ද සිල්වා (විදුහල්පති), අචිනි දිනූෂා (ක්‍රීඩා භාර ආචාර්ය), දිනූෂා මනෝජි (ක්‍රිකට් භාර ආචාරිනී), මහේෂ් සඳරුවන් (පුහුණුකරු)

වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය

ශ්‍රී ලංකා පාසල් බාලිකා ක්‍රිකට් පිටියේ වාද්දූව මධ්‍ය මහා විද්‍යාලය දශකය පමණ ඉතිහාසයකට හිමිකම් කීව ද ඔවුන්ගේ කැපී පෙණෙන දක්ෂතා සහිත ඉතිහාසයක් මතු වෙන්නේ මෑතක සිටයි. ඔවුන් සහභාගී වූ සෑම තරගාවලියක දී ම ඉදිරි පෙළ කණ්ඩායම් අතරට එක් වීමට සමත් වූවා.

වාද්දූව මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම මෙම තරගයේ දී පිටියට පිවිසෙන්නේ මලිති අවිශ්කාගේ නායකත්වයෙන් යුතුවයි. කණ්ඩායමේ වඩාත් බලාපොරොත්තු සහගත ක්‍රීඩිකාව බවට පත් ව ඇත්තේ කණ්ඩායමේ උප නායිකා එරන්දි වර්ණකුලසූරිය. ඇය ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ බාලිකා 20 දෙනෙක්ගෙන් යුත් සංචිතය නියෝජනය කළ ක්‍රීඩිකාවක්.

වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම වඩාත් සමබර කණ්ඩායමක් ලෙසින් සැලකෙන අතර ඔවුන් ප්‍රතිවාදීන්ගේ ඕනෑ ම අභියෝගයක මූහුණ දීමට සුදානමින් මෙම තරගය සඳහා එක් වීමට බස්නාහිරින් දකුණට පිවිසෙනවා.

වාද්දූව මධ්‍ය මහා විද්‍යාලයීය ඉතිහාසයේ වඩාත් කැපී පෙණෙන ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූයේ නෙත්මි සේනාරත්න යි. ඇය ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා එක් වෙමින් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට මෙන් ම පසුගියදා මෙරට දී අවසන් වූ එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව ද සහභාගී වූ තුන් කොන් ක්‍රිකට් තරගාවලියට ද සහභාගී වෙමින් දක්ෂතා දැක් වූ ක්‍රීඩිකාවක් වන අතර මේ වන විට ඇය යුද හමුදා කණ්ඩායම නියෝජනය කරමින් තම දක්ෂතා එළි දක්වමින් සිටිනවා.

එමෙන් ම වාද්දූව මධ්‍ය මහා විද්‍යාලයෙන් ක්‍රිකට් අත්පොත් තැබූ ඉමෝක්ෂා භාෂිණි සහ මනෝහරි නිසංසලා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නැගී එන කණ්ඩායමේ සංචිතගත ක්‍රීඩිකාවන් ලෙසින් සිටි අතර නවෝද්‍යා නෙත්මිණි සහ සාවින්දි කුරේ තව දුරටත් එම සංචිත නියෝජනය කරමින් සිටිනවා.

1st Battle of tha Heroines.

වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ බාලිකා ක්‍රිකට් කණ්ඩායම:

මලිති අවිශ්කා (නායිකාව), එරන්දි වර්ණකුලසූරිය (උප නායිකා), නිල්නෙතු අහස්නා, සයුරි සෙව්මිණි, වෙතුම්‍යා රිත්මලී, බුද්ධි දිනේෂිකා, දිනුරි රසංගා, ඔමේෂා චරිත්‍රි, චිරායු ආසිංශනී,  සෙතුලි සිතංගා, රුබීනා තීර්ෂා,  උමේෂි ප්‍රබෝධනී, සශිනි හංසනී, අශිනි මල්ෂිකා, හසන්‍යා චනෙත්මි, තස්මිලා රුවන්තාරකී, ඔනාලි අදීශා, දෙව්මිණි භාග්‍යා.

නිලධාරීන්: නයනා දමයන්ති (විදුහල්පතිනි), එස්. එම්. එගොඩගෙදර (නියෝජ්‍ය විදුහල්පති), එම්. ඩී. එම්. ද සිල්වා (නියෝජ්‍ය විදුහල්පතිනි), නිශාන්ති කුමාරරත්න (සහකාර විදුහල්පතිනි), ගයත්‍රී ද සිල්වා (ක්‍රිකට් භාර අචාරිනි) ධනුෂ්ක රම්මුතු (ප්‍රධාන පුහුණුකරු), තරුෂි කුලසිංහ (සහාය පුහුණුකාරිනී)

වීරවරියන්ගේ මංගල මහා සටනට එක් වෙන රත්ගම දේවපතිරාජ විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට සහ වාද්දූව මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩිකාවන්ට ThePapare.com වෙතින් උණුසුම් සුබ පැතුම්!

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<