ලෝක කුසලානයට යන ගමනේ ශ්‍රී ලංකා ප්‍රතිවාදීන්

ICC Women's T20 World Cup Qualifier

57

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැත්වෙන තරගාවලිය මේ මස 25 වැනිදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම තරගාවලිය සඳහා  කාණ්ඩ දෙකක් යටතේ කණ්ඩායම් 10ක් සහභාගී වීමට නියමිත අතර ශ්‍රී ලංකාව එක් වෙන්නේ A කාණ්ඩයෙනුයි.  

A කාණ්ඩය 

  • ශ්‍රී ලංකාව, තායිලන්තය, ස්කොට්ලන්තය, උගන්ඩාව, ඇමෙරිකාව   

B කාණ්ඩය 

  • අයර්ලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, වනාටු, සිම්බාබ්වේ, නෙදර්ලන්තය 

මෙම කාණ්ඩවල පළමු ස්ථාන දෙක හිමි කරගන්නා කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර, එම කණ්ඩායම් 4 අතුරින් ඉදිරියට පිවිසෙන කණ්ඩායම් ද්විත්වය බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිත එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් සපුරා ගනු ලබයි.  

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දී ශ්‍රී ලංකාව හා එක් වෙන කණ්ඩායම් අතුරින් තායිලන්තය 13 වැනි ස්ථානයේත්, ස්කොට්ලන්තය 14 වැනි ස්ථානයේත්, උගන්ඩාව 18 වැනි ස්ථානයේත් සහ ඇමරිකාව 23 වැනි ස්ථානයේත් රැදී සිටිමින් මෙම තරගාවලියට එක් වෙද්දී ශ්‍රී ලංකාව මෙම තරගාවලිය හා එක් වෙන්නේ 7 වැනි ස්ථානයේ සිටිමිනුයි.  

ඒ නිසා ම මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට පිවිසෙනු ඇතැයි අනුමාන කෙරෙන සහ ස්තීරව ම පැවැසෙන කතා බොහෝමයි. ඊට වඩාත් හේතු වී ඇත්තේ මේ වන විට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතා, උපරිම මට්ටමෙන් දැක බලා ගැනීමට මෙරට මෙන් ම විදෙස් ප්‍රේක්ෂකයන්ට ද ඉඩ හසර ලැබී ඇති නිසාවෙනුයි.  

තරගාවලියට එක් වෙන ශ්‍රී ලංකා සංචිතය; 

චමරි අතපත්තු (නායිකා), විශ්මි ගුණරත්න, නිලක්ෂි සිල්වා, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, හසිනි පෙරේරා, අනුෂ්කා සංජීවනී, උදේෂිකා ප්‍රබෝධනී, ඉනෝකා රණවීර, අචිනි කුලසූරිය, හංසිමා කරුණාරත්න, කාව්‍යා කාවින්දි, ඉනෝශි ප්‍රනාන්දු, සුගන්දිකා කුමාරි, ශෂිනි ගිම්හානි 

  • අප්‍රේල් 25, තායිලන්තය සමඟ, Abu Dhabi.

2018 වසරේ සිට විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් හිමි වී ඇති තායිලන්තය මේ දක්වා තරග 84කට ක්‍රීඩා කර තිබෙනවා. එම තරග අතුරින් තරග 53ක් ඔවුන් ජයග්‍රහණය කරන ලද අතර තරග 29ක් පරාජය වී තිබෙනවා. අනෙක් තරග 2 ඉතිහාසයට එක් ව ඇත්තේ නොවිසඳුණ තරග ලෙසයි.  

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර මේ දක්වා තරග 3ක් පවත්වා ඇති අතර එම තරග අතුරින් තරග 2ක ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු වෙද්දී තායිලන්තයට තරගයක ජයග්‍රහණයක් හිමි වෙනවා.  

තායිලන්ත කණ්ඩායමේ නායකත්වය හිමි ව ඇත්තේ 33 හැවිරිදි වියේ පසුවෙන Naruemol Chaiwai වෙතයි. ඇය මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 83කට සහභාගී වී ඇති අතර ඉන් තරග 44කට ම නායකත්වය ලබා දී තිබෙනවා. එම තරග අතුරින් තරග 27ක් ජයග්‍රහණය කරා මෙහෙයවන ඇය ඉතිරි තරග අවසන් කරන්නේ පරාජිත තරග 16ක් සහ නොවිසඳුණ තරගයක් ලෙසයි.  

විස්සයි විස්ස තරගවල ඇයගේ දක්ෂතාව අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 1288ක්. ඒ තරග අතුරින් ශ්‍රී ලංකාව සමඟ තරග 3කට ක්‍රීඩා කර ඇති ඇය ලබා ඇති ලකුණු සංඛ්‍යාව 69ක්.  

ඇයට අමතර ව පිතිකාරිනියන් ලෙසින් කණ්ඩායමට එක් ව ඇති ක්‍රීඩිකාවන් අතුරින් පෙරමුණ ගන්නේ Natthakan Chantham. ඇය මේ දක්වා විස්සයි විස්ස තරග 78කට එක් වෙමින් ලකුණු 1645ක් ලබා සිටිනවා. තායිලන්තය වෙනුවෙන් විස්සයි විස්ස පිටියේ වැඩිම ලකුණු ලබා ඇති පිතිකාරිනිය වන්නේ ද ඇයයි.  

එමෙන් ම තරග 82ක දී ලකුණු 1306ක් ලබා සිටින Nannapat Koncharoenkai ද තායිලන්ත කණ්ඩායමේ සිටින දක්ෂතා සපිරි පිතිකාරිනියක් ලෙසින් හැඳින් වෙනවා.  

කණ්ඩායමේ හොඳම පන්දු යවන්නිය බවට පත් වෙන්නේ Nattaya Boochatham. ඇය මේ දක්වා විස්සයි විස්ස තරග 82කට සහභාගී වෙමින් කඩුලු 116ක් ලබා සිටිනවා. ඇයත් සමඟින් කඩුලු 70ක් ලබා සිටින Onnicha Kamchomphu, කඩුලු 66ක් ලබා සිටින Chanida Sutthiruang සහ කඩුලු 62ක් ලබා සිටින Thipatcha Putthawong ද කණ්ඩායමේ සුවිශේෂී ක්‍රීඩිකාවන් ලෙසින් තරගවලට පිවිසීමට නියමිතයි.  

  • අප්‍රේල් 27, ස්කොට්ලන්තය සමඟ, Abu Dhabi.

2018 වසරේ දී පළමු වරට විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් දිනා ගත් ස්කොට්ලන්ත ක්‍රීඩිකාවෝ මේ වන විට තරග 51කට සහභාගී වෙමින් ඉන් තරග 29ක් ජයග්‍රහණය කරද්දී තරග 21ක් පරාජය වී තිබෙනවා. ඉතිරි තරගය නිමා වී ඇත්තේ ලකුණු සම වූ තරගයක් ලෙසයි.  

ඔවුන් ශ්‍රී ලංකාව සමඟ මෙතෙක් තරග වැදී ඇත්තේ එක් තරගයක් සඳහා පමණයි. ඒ 2022 වසරේ දී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලිය හා එක් වෙමිනුයි. එම තරගයෙන් ලකුණු 109ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙනවා.  

කණ්ඩායමේ නායිකාව වන  Kathryn Bryce තම මංගල තරගයේ සිට ම තම කණ්ඩායම මෙහෙයවීමේ වාසනාව හිමි වූ ක්‍රීඩිකාවක්. මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 40ක දී තම කණ්ඩායම මෙහෙයවූ ඇය ඉන් තරග 23ක් ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත් ව තිබෙනවා. අනෙකුත් තරග අතුරින් තරග 16ක් පරාජිත තරග ලෙසත් එක් තරගයක් ලකුණු සමවීමෙන් අවසන් වූ තරගයක් ලෙසත් ඉතිහාසයට එක් වෙනවා.  

පිතිකාරිනියක් ලෙසින් දක්ෂතා දක්වන ඇය මේ වන විට අර්ධ ශතක 8ක් සමඟින් ලකුණු 1020ක් ලබා සිටිනවා. 

කණ්ඩායමේ පිතිකාරිනියන් අතුරින් ඉදිරියෙන් ම සිටින්නේ Sarah Bryce. ඇය මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 48කට සහභාගී වෙමින් අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 1161ක් ලබා සිටිනවා.  

කණ්ඩායමේ කඩුලු රකින්නිය ද වන ඇය ලෝක ඉතිහාසයේ විස්සයි විස්ස ඉනිමක දී දවා ගැනීම් 5කට දායකත්වයකට දැක් වූවන් අතුරින් ඉදිරියෙන් පසු වෙන්නේ අවස්ථා 2ක දී ම එවන් දක්ෂතාවක් කළ පළමු වැන්නිය ලෙසයි. එමෙන් ම එක් ඉනිමක දී කඩුලු දවාලීම් 4ක් වාර්තා කළ අය අතර ද ඇය ඉතිහාසය හා එක් ව සිටිනවා. 

කණ්ඩායමේ පන්දු යවන්නන් අතුරින් ඉදිරියෙන් පසු වෙන්නේ Abtaha Maqsood. ඇය විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 45ක දී ලබා ඇති කඩුලු සංඛ්‍යාව 45ක්.  

ඊට අමතර ව Kathryn Bryce (37) සහ Priyanaz Chatterji (25) ද පන්දු යවන්නියන් අතුරින් ඉදිරියෙන් සිටිනවා.  

2018 වසරේ සිට විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් දිනා ගන්නා උගන්ඩා ක්‍රීඩිකාවෝ මේ දක්වා ක්‍රීඩා කර ඇත්තේ තරග 79කට පමණක් වන අතර ඒ අතුරින් තරග 48ක් ඔවුන් ජයග්‍රහණය කිරීමට සමත් ව සිටිනවා. තරග 31ක් පරාජිත ලැයිස්තුවට ඇතුලත් වෙනවා.  

මේ තරග අතුරට උගන්ඩා ක්‍රීඩිකාවෝ සහ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එක්වෙන පළමු අවස්ථාවයි මේ.  

උගන්ඩා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවැරී ඇත්තේ දකුණතින් පිට දඟපන්දු යවමින් දක්ෂතා දක්වන Concy Aweko වෙතයි. ඇය මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 73කට සහභාගී වෙමින් කඩුලු 100ක් ලබා සිටිනවා. 

නායිකාවක ලෙසින් අවස්ථා 54ක දී උගන්ඩා කණ්ඩායම මෙහෙයවා ඇති ඇය ඉන් තරග 35ක් ජයග්‍රහණය කරා රැගෙන යෑමට සමත් ව සිටිනවා. පරාජිත තරග ප්‍රමාණය 19ක්.  

කණ්ඩායමේ සිටින ක්‍රීඩිකාවන් අතුරින් වඩාත් විශ්වාසය රැදී පිතිකාරිනිය වී ඇත්තේ Rita Musamali. ඇය එරට වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 77කට සහභාගී වෙමින් ශතකයක් ද සමඟින් ලකුණු 922ක් ලබා සිටිනවා.  

එමෙන් ම Janet Mbabazi (876),  Kevin Awino (835) සහ Immaculate Nakisuuyi (741) ද පිතිකරු ලැයිස්තුවේ ප්‍රමුඛ ක්‍රීඩිකාවන් ලෙසින් වැජඹෙනවා.  

කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නිය වී ඇත්තේ නායිකාව වන Rita Musamali වන අතර Janet Mbabazi (75) සහ Stephani Nampiina (33) ද උගන්ඩා කණ්ඩායමේ විශ්වසනීය පන්දු යවන්නියන් බවට පත් ව සිටිනවා.  

  • මැයි 03, ඇමෙරිකාව සමඟ, Tolerance Oval

මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව හා තරග නොවැඳුණ කණ්ඩායමක් ලෙසින් ඇමරිකා කණ්ඩායම ද එක් වෙනවා. 2019 වසරේ දී සිට විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියට එක් වූ ඇමරිකා කාන්තා කණ්ඩායම මේ දක්වා ක්‍රීඩා කර ඇත්තේ තරග 28ක් පමණයි.  

 එම තරග අතුරින් තරග 16ක් ජයග්‍රාහී තරග ලෙසත් සහ තරග 12ක් පරාජිත තරග ලෙසත් වර්ගීකරණය කෙරෙනවා.  

කණ්ඩායමේ නායිකාව වන්නේ ඉන්දීය ජාතික Sindhu Sriharsha. ඇය ඇමරිකා මංගල විස්සයි විස්ස තරගයේ සිට ම මේ දක්වා ම කණ්ඩායමේ නායිකාව ලෙසින් කටයුතු කරනවා. ඇය මේ දක්වා ලබා ඇති ලකුණු සංඛ්‍යාව 467ක්. එය ඇමරිකානු විස්සයි විස්ස පිතිකාරිනියන් අතුරින් පළමු අසුන වෙන් කර ගත් දක්ෂතාවයි.  

ඊට අමතර ව Disha Dhingra (234) සහ Anika Kolan (217) ද දක්ෂතා දක්වන පිතිකාරිනියන් අතුරින් පෙරමුණ ගෙන සිටිනවා.  

පන්දු යැවීමේ දී ඇමරිකානු කණ්ඩායමේ වඩාත් විශ්වාසවන්ත පන්දු යවන්නිය වී ඇත්තේ Isani Vaghela. දකුණතින් මඳ වේග පන්දු යවන ඇය ලබා ඇති කඩුලු සංඛ්‍යාව 18ක් වන අතර ඊට අමතර ව Suhani Thadani (15)ක් සහ Uzma Iftikhar (13) පන්දු යවන්නියන් අතුරින් ඉදිරියෙන් සිටිනවා.  

තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<