තරුෂි ලක් මාතාව රනින් සරසවද්දී, සහය දිවීමෙන් පදක්කම් ද්විත්වයක්

19වැනි ආසියානු ක්‍රීඩා උළෙල 2023

681
19වැනි ආසියානු ක්‍රීඩා උළෙල 2023

චීනයේ පැවැත්වෙන 19වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩාවෙන් රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම්ක් දෙකක් ලක් මාතාවට දිනා දීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද (04) සමත් වුනා.

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ ලබා ගත් කාන්තා මීටර් 800 ආසියානු කිරුළ රැක ගනිමින් එම ඉසව්වේ ආසියානු ශූරිය තමන් බව නැවත වරක් තහවුරු කිරීමට යොවුන් ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න සමත් වුනේ මීටර් 800 අවසන් තරගය මිනිත්තු 2:03.20ක කාලයකින් තරගය අවසන් කරමිනුයි.

ඒ සමඟ වසර 21කට පසු ආසියානු ක්‍රීඩා උළෙලක මලල ක්‍රීඩා රන් පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා දීමට ඇය සමත් වූ අතර ශ්‍රී ලංකාව 2014 වසරෙන් පසු ආසියානු ක්‍රීඩා උළෙලේ දිනා ගත් පළමු රන් පදක්කම මෙය වීම ද විශේෂත්වයක්.

මෙම ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගයන්තිකා අබේරත්න ද සහභාගී වූ අතර මිනිත්තු 2:05.87ක කාලයකින් සිය ඉසව්ව අවසන් කළ ඇයට හිමි වුනේ අටවැනි ස්ථානයයි.

මීටර් 800 ඉසව්ව අවසන් කර පැයක් ගත වීමට පෙර කාන්තා මීටර් 400×4 සහය දිවීම තරගයේ කැපී පෙනෙන දස්කම් දැක්වූ තරුෂි සිය කණ්ඩායමට ලෝකඩ පදක්කමක් දිනා දීමට සමත් වුනා.

එම තරගය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මිනිත්තු 3:30.88ක කාලයකින් නව ශ්‍රී ලංකා වාර්තාවක් සමඟ අවසන් කිරීමට සමත් වූ අතර එම ඉසව්වට තරුෂිට අමතරව නදීෂා රාමනායක, ජයේෂි උත්තරා සහ සයුරි මෙන්ඩිස් සහභාගී වුනා.

තරගාවලියේ මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව දිනා ගත් අනෙක් පදක්කම දිනා ගත්තේ පිරිමි මීටර් 4×400 සහය දිවීමේ කණ්ඩායමයි.

එම තරගය ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මිනිත්තු 3:02.55ක කාලයකින් අවසන් කිරීමට සමත් වූ අතර එම දස්කම සමඟ ඉසව්ව සඳහා පිහිටුවා තිබූ ජාතික වාර්තා අලුත් කිරීමට ද ඔවුන් සමත් වීම විශේෂත්වයක්.

මෙම අවසන් තරගය සඳහා ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායම නියෝජනය කළේ කාලිංග කුමාරගේ, අරුණ දර්ශන, පබසර නිකූ සහ රජිත රාජකරුණායි.

ඒ අනුව ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවර තරගාවලියේ දී රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර මෙය 2022 වසරෙන් පසු ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමක් ආසියානු ක්‍රීඩා උළෙලක දැක්වූ හොඳම දස්කමයි.

දිනෙන් දින උණුසුම් වන දෙස් විදෙස් මලල ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<