ලෝක කුසලානයට පෙර ඉන්දීය කණ්ඩායමට පුළුල් වෛද්‍ය පරීක්ෂණ

ICC Cricket World Cup 2023

376
18 players who are in contention for india wc squa

ඉන්දීය ලෝක කුසලාන සංචිතය තෝරා ගැනීමට කෙටුම්පත් කර ඇති ක්‍රීඩකයින් 18 දෙනා පුළුල් ශාරීරික යෝග්‍යතා සහ වෛද්‍ය පරීක්ෂණවලට භාජනය කිරීමට නියමිත බව ඉන්දියාවෙන් වාර්තා වනවා. 

මෙම පරීක්ෂණ බොහෝ සාමාන්‍ය මට්ටමේ ඒවා වන අතර ඒවා ජාතික ක්‍රිකට් ඇකඩමියේ (NCA) හෝ BCCI හි වෛද්‍ය කණ්ඩායම් විසින් පවත්වනු ඇති. 

මෙහි දී දිගින් දිගටම ජාතික කණ්ඩායම සමඟ රැඳී නොසිටි ක්‍රීඩකයින් වෙනුවෙන් යෝග්‍යතා පරීක්ෂණ මෙන්ම, සියලු ම ක්‍රීඩකයින් අනිවාර්යය වෛද්‍ය පරීක්ෂණවලට යොමු කෙරෙනු ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ. 

“ඔව්, අයර්ලන්තයේ එක් තරගාවලියක් පමණක් ක්‍රීඩා කළ (Jasprit Bumrah, Prasidh Krishna, Sanju Samson) ක්‍රීඩකයින්ට අනිවාර්ය රුධිර පරීක්ෂණයක් සමඟ සාමාන්‍ය යෝග්‍යතා පරීක්ෂණයකුත් සිදු කරනවා.” 

BCCI නියෝජිතයෙකු විසින් PTI වෙත සඳහන් කර තිබුණා. 

මෙහි දී පරීක්ෂා කෙරෙන පරාමිතීන් අතර ලිපිඩ පරීක්ෂාවක්, රුධිරයේ සීනි මට්ටම, යූරික් අම්ලය, කැල්සියම්, විටමින් B12 සහ විටමින් D, ක්‍රියැටිනීන් (වකුගඩු වල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීමට) සහ ටෙස්ටොස්ටෙරෝන් ඇතුළත් වන බවයි වාර්තා වන්නේ. 

එමෙන්ම අස්ථි ඝනත්වය පරීක්ෂා කිරීමට සිදු කරන Dexa නම් පරීක්ෂණය ද මේ අතර වනවා. 

නමුත් මේ කිසිවක් අලුතින් හඳුන්වා දුන් දෑ නොවන බවත්, මෙම පරීක්ෂණවලට අමතරව සෑම ක්‍රීඩකයෙකුට ම වෙන් වෙන් වශයෙන් ඔවුන් ආහාර ලබා ගත යුතු ආකාරය පිළිබඳ සැලසුම් (Diet Plans) ලබා දී ඇති බවත්, ක්‍රීඩකයින් ව නිරන්තරයෙන් ම සුව නින්දක් කරා යොමු කරවමින් ඔවුන්ට හොඳ විවේකයක් ලබා දීමට උත්සාහ කරන බවත් NCA හි නියෝජිතයෙකු විසින් සඳහන් කර තිබුණා. 

පැය 8-9ක ගැඹුරු නින්දක් මගින් ආබාධ ඇති වීමේ ඉඩ අවම කරන බව දන්නා කරුණක්. 

ICC එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

Hindustan Times ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<